ලොව තෙවැනි විශාලතම මෝටර් රථ වෙළඳපොළ වන ඉන්දියාවේ කුඩා මෝටර් රථ සඳහා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, එහි එන්ජින් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට Horse Powertrain සමාගම සූදානම් වන බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මතියස් ජියානිනි මහතා ප්‍රකාශ කළේය. ඉන්දීය රජය විසින් මීටර් 4ට වඩා අඩු දිගකින් යුත් සහ ලීටර් 1.2ට වඩා අඩු එන්ජින් ධාරිතාවයකින් යුත් කුඩා මෝටර් රථ සඳහා පනවා තිබූ මධ්‍යම විකුණුම් බද්ධ සියයට 28 සිට සියයට 18 දක්වා අඩු කිරීම මෙම තීරණයට ප්‍රබල හේතුවක් වී තිබේ. බීජිං මෝටර් රථ ප්‍රදර්ශනයට සමගාමීව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, කාර්යක්ෂම ලීටර් 1.2 එන්ජින් සඳහා වන ඉල්ලුම සපුරාලීමට තම සමාගමට හැකියාව පවතින බවයි.
Horse Powertrain සමාගම සිය ඉන්දීය ශාඛාව සඳහා වන නියාමන අනුමැතිය වසරේ තෙවන කාර්තුව වන විට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, මූලික වශයෙන් අලෙවි නියෝජිත ජාලයක් ස්ථාපිත කර පසුව නිෂ්පාදන සහ අපනයන කටයුතු දක්වා එය පුළුල් කිරීමට සැලසුම් කර ඇත. ඉන්දීය රජයේ නව බදු සහන ප්‍රතිපත්තිය හේතුවෙන් මෝටර් රථ නිෂ්පාදකයන් බොහෝමයක් කුඩා ප්‍රමාණයේ පෙට්‍රල් එන්ජින් සහිත රථ නිපදවීමට යොමු වෙමින් පවතින අතර Horse සමාගමේ මෙම ආගමනය එම සැපයුම් දාමයට විශාල ශක්තියක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන මිල ඉහළ යමින් පවතින පසුබිමක මෙවැනි කාර්යක්ෂම කුඩා එන්ජින් සඳහා පාරිභෝගික ආකර්ෂණය ද ඉහළ මට්ටමක පවතිනු ඇත.














