වැලිකඩ බන්ධනාගාරය තුළට ඇතුළු වීමට මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන්ට අවසර නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය බලවත් කනස්සල්ල පළ කර තිබේ. මෙය 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත උල්ලංඝනය කිරීමක් බව කොමිෂන් සභාව පෙන්වා දෙයි. එම පනත යටතේ පූර්ව දැනුම්දීමකින් තොරව ඕනෑම වේලාවක රඳවා තබා ගැනීමේ ස්ථාන පරීක්ෂා කිරීමට කොමිෂන් සභාවට බලය පැවරී ඇත.
ජූලි 14 වන දින මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී, බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ බන්ධනාගාරය තුළ පැවති අස්ථාවර ආරක්ෂක තත්ත්වය හේතුවෙන් මෙම පරීක්ෂාවට අවසර ලබා දීම අත්හිටවූ බවයි. පසුව බන්ධනාගාර නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් කනගාටුව පළ කළද, එම පැහැදිලි කිරීම සම්බන්ධයෙන් කොමිෂන් සභාව සෑහීමකට පත් නොවන බව ප්‍රකාශ කර ඇත.
මීට අමතරව, මීගමුව බන්ධනාගාරයේ සිට මාරු කර එවන ලද රැඳවියන්ට එරෙහිව වධහිංසා පැමිණවීම, වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරීම, ඔවුන්ගේ ස්ථානය පිළිබඳව පවුල්වලට දැනුම්දීමේ ප්‍රමාදයන් සහ දඬුවම් කාලය අවසන් වූ රැඳවියන් තවදුරටත් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන්ද කොමිෂන් සභාව බරපතළ අවධානය යොමු කර තිබේ.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවෙන් පසු සිදු වූ වධහිංසා සහ මරණ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට සම්පූර්ණයෙන් සහයෝගය දක්වන ලෙස වැලිකඩ බන්ධනාගාර බලධාරීන්ට කොමිෂන් සභාව නියෝග කර ඇත. රැඳවියන් මාරු කිරීමේදී ඔවුන්ට එරෙහිව සිදුවන පළිගැනීම් වළක්වන ලෙසත්, දඬුවම් කාලය අවසන් වූ රැඳවියන් කඩිනමින් නිදහස් කිරීම සහ රැඳවියන්ගේ ස්ථානය පිළිබඳව පවුල්වලට කඩිනමින් දැනුම් දීම සහතික කරන ලෙසත් කොමිෂන් සභාව නිර්දේශ කරයි.














