ශ්රී ලංකාවේ අතීතයේ සිදුවූ බරපතල අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමේ රජයේ ක්රියාවලිය දැඩි ලෙස මන්දගාමී වී ඇති බව ‘හියුමන් රයිට්ස් වොච්’ (Human Rights Watch) සංවිධානය සිය නවතම වාර්තාවක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රජය බලයට පත්වීමෙන් පසු ඇතැම් ප්රධාන නඩු සම්බන්ධයෙන් සුළු ප්රගතියක් පෙන්නුම් කළද, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්, වධහිංසා පැමිණවීම් සහ ඝාතන පිළිබඳ බොහෝ ප්රධාන නඩු තවදුරටත් ඇණහිට ඇති බව එමගින් අනාවරණය කර ඇත. යාපනයේ චෙම්මනී ප්රදේශයේ කැනීම්වලින් මළ සිරුරු කොටස් හමුවී තිබුණද, වින්දිතයන් හඳුනා ගැනීමට හෝ වගකිවයුත්තන්ට එරෙහිව නිසි පියවර ගෙන නොමැති බව පෙන්වා දෙන එම සංවිධානය, දශක ගණනාවක් පුරා පවතින දණ්ඩමුක්තිය අවසන් කරමින් වින්දිතයන්ට සැබෑ යුක්තිය ඉටු කිරීමට කඩිනමින් ක්රියාත්මක වන ලෙස රජයට බලපෑම් කර තිබේ.















