ඉන්දියාවේ හයිද්‍රාබාද්හි ලන්ගාර් හවුස් ප්‍රදේශයේ හෝටලයක් තුළදී 26 හැවිරිදි රේණුකා නැමැති විවාහක කාන්තාවක් සියදිවි නසාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඇය පබ් එකක සේවය කළ අයෙකු වන අතර, දරුවෙකුගේ මවකි.
සිද්ධිය වූ ආකාරය අනුව, ඇය පසුගිය බදාදා අලුයම් කාලයේ පිරිමි පුද්ගලයෙකු සමඟ අදාළ හෝටලයට පැමිණ කාමරයක් වෙන්කරවාගෙන තිබේ. එම පුද්ගලයා බ්‍රහස්පතින්දා රාත්‍රී 10.30 ට පමණ හෝටලයෙන් පිටව ගොස් ඇති අතර, රේණුකා කාමරයේ තනිව රැඳී සිට ඇත.
රාත්‍රී 11.56 ට පමණ ඇය ආහාර ඇණවුම් කර ඇති අතර, පසුව මිතුරියකට වීඩියෝ ඇමතුමක් ලබාදී එම ඇමතුම ක්‍රියාත්මකව පවතිද්දීම ඇය සියදිවි නසාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් දැනගත් හෝටල් කාර්ය මණ්ඩලය වහාම පොලිසියට දැනුම් දී තිබේ.
පොලිසිය විසින් මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා රෝහල්ගත කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි. විශේෂයෙන්ම ඇය සමඟ පැමිණි පුද්ගලයා සහ ඇගේ ජංගම දුරකථන දත්ත ඔස්සේ සහ සීසීටීවී දර්ශන විශ්ලේෂණය කරමින් මෙම මරණයට හේතු වූ නිශ්චිත කරුණු සොයා ගැනීමට පොලිසිය පියවර ගනිමින් සිටී.
















