27 April 2024
#දේශීය

මම බෙදන්නේ මගේ නෑදැ හිතවතුන්ට නෙවෙයි. රටේ ජනතාවට විතරයි – විපක්ෂ නායක සජිත්

වැට් බදු වැඩි කර අතේ තියෙන තුට්ටු දෙකට පවා අහිමි කර ඇති මොහොතක ව්‍යාජ සංඛ්‍යාලේඛන සහ දත්ත ඉදිරිපත් කර තුන්වැනි වතාවටත් විදුලි බිල වැඩි කර ඇති බවත් මේ ආකාරයෙන් ආර්ථිකය කුඩා කිරීමෙන් රටක් දියුණු කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ විල්ගමුව උඩුවෙල ශ්‍රී ධර්ම විජය බෞද්ධ මධ්‍යස්ථානයේ අවාසගේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එබැවින් වැඩ කරන යුගයක්, නිෂ්පාදන හා අපනයන යුගයක් නිර්මාණය කරන්න අලසකමින් කම්මැලිකමින් තොරව සියලු දෙනාම සූදානම් විය යුතු බවත් ලෝකයේ අංක 1 වීමට නම් කයිවාරු ගැසීමෙන් තොරව වැඩ කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේග රජයක් තුළ සදාකාලික සහනාධාර නැති මුත් නැගී සිටීමට අවැසි සියලු ශක්තීන් ලබා දෙන බවයි.

එසේම සමගි ජන බලවේගය විසින් හුස්ම, සක්වල වැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන විට බෙදන සංස්කෘතියක් ඇති කර ඇති බවට චෝදනා කරන බවත් සමගි ජන බලවේගය බෙදන බෙහෙත්, පරිගණක සහ බස් ආදිය අධි පොහොසතුන්ට සුපිරි කෝටිපතියන්ට වැදගත් නොවූවත් එය 41 ලක්ෂයක් පාසල් දූදරුවන්ට සහ සාමාන්‍ය ජනතාවට වැදගත් බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

හොරකමින්, වංචාවෙන් තම පවුල්වල සාමාජිකයන්ට හිතමිතුරන්ට රටේ සම්පත් බෙදා දීමට වඩා අහිංසක අසරන ජනතාව වෙනුවෙන් යමක් ලබා දීම වටිනා බවත් එසේම මේ බෙදිල්ල සදාකාලික බෙදිල්ලක් නොවන බවත් මේ තුළින් දියුණු වීමට ජනතාව කටයුතු කළ යුතු බවත් විපක්ෂනායකවරයා පැවසීය.

රටට වැඩ කරන්න ඕන නම් ජනාධිපති, අගමැති, ඇමතිකම් අවශ්‍ය නොවන බවත් 75 වසරක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ රජයේ අරමුදල් භාවිත නොකර වෙනත් දානපති උපකාර ලබා ගෙන රට ගොඩනගන්න වැඩසටහන් ක්‍රියාත්මක කළ එකම විපක්ෂය සමගි ජන බලවේගය බවත් සමහර විපක්ෂයේ පක්ෂවල සුඛෝපභෝගී ඇඳුම් ආයිත්නම් අඳිමින් අය රට සවාරි ගිහින් බලය ඉල්ලා සිටියත් ඔවුන් විපක්ෂයේ සිට ජනතාවට කිසිදු සේවාවක් ඉටු කර නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රටේ බදු ගෙවන්නන්ගේ මුදල් එකතු කර සංවර්ධන ව්‍යාපෘති සඳහා යොමු කිරීම සැබෑ සංවර්ධනය නොවන බවත් සැබෑ සංවර්ධනය යනු බදු මුදල්වලින් තොරව වෙනත් ක්‍රම හරහා රටේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

2019 වගේ නැවතත් ඇන්දෙන්න එපා බොරු සෝබන, කතා, කයිවාරු කියන නැවතත් 2019 මෙන් අන්දවන සහ ඇන්දවෙන, ඩොලර් හිගයට රුපියල් හිගයට කිසිදු විසදුමක් නැති බලවේගවලට නැවත බලය ලබා දී රට විනාශ මුඛය කරා ගෙන නොයන ලෙසත් ඩොලර් හිඟය සහ රුපියල් හිඟය යන මූල්‍ය ගැටලු දෙකට විසදුම් දිය හැකි සැබැ කණ්ඩායම කුමක්ක කියා බුද්ධිමත්ව තීරණය කරනා ලෙසත් බොරුවට කයිවාරුවට සෝබනයට සංදර්ශනයට නැවත නැවතත් රැවටෙනවා වෙනුවට ගම හදා රට හදන දුප්පත්කම තුරන් කර වහල්භාවයෙන් තොර අභිමානවත් ජන ජිවිතයක් කරා යනවාද යන තීන්දුව ජනතාව විසින් ගත යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *