2026 අයි.සී.සී. (ICC) කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයේ හදිසි වෙනසක් සිදු කර තිබේ. සංචිතයට නම් කර සිටි යොවුන් ක්‍රීඩිකා සෂිනි ගිම්හානි ආබාධයකට ලක්වීම හේතුවෙන්, ඇය වෙනුවට දකුණතින් මධ්‍යම වේගපන්දු යවන ක්‍රීඩිකා චේතනා විමුක්තිව සංචිතයට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, පුහුණුවීම් කටයුතු අතරතුරදී සෂිනි ගිම්හානිගේ කොන්දේ පහළ ප්‍රදේශයේ (Lower back) ඇති වූ ආබාධයක් හේතුවෙන් ඇයට මෙම තරගාවලිය අහිමි වූ බවයි. ඇයගේ මෙම ආබාධ තත්ත්වය හේතුවෙන් පසුගිය ජූනි 02 වැනිදා එංගලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට ද ඇයට නොහැකි විය.
ඒ අනුව, කණ්ඩායමේ තුන් ඉරියව් ශක්තිය වැඩි කිරීමේ අරමුණින් චේතනා විමුක්තිව ආදේශක ක්‍රීඩිකාව ලෙස කණ්ඩායමට ඇතුළත් කර තිබේ. ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ වන විටත් සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කර ඇත.
















