“තිරසාර ගොඩනැගිලි පරිසරයක් අනාගතයට ගැළපෙන ලෙස සකස් කිරීම සඳහා ගින්නට ඔරොත්තු දෙන ද්‍රව්‍ය සහ පද්ධති දියුණු කිරීම” යන තේමාව යටතේ **ගිනි ආරක්ෂණ සහ ගොඩනැගිලි පරිසර ස්ථාවරත්වය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය – 2026 (ICFIRE 2026)** විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකාවේ ඇම්බර් විද්‍යාගාරය සහ ගිනි ආරක්ෂණ ඉංජිනේරු සංගමය විසින් සංවිධාන කරනු ලබන මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ජූලි 22 සහ 23 යන දෙදින තුළ පැවැත්වේ. වේගවත් නාගරීකරණය සහ දේශගුණික විපර්යාස හේතුවෙන් ගිනි අවදානම් තත්ත්වයන් ඉහළ ගොස් ඇති පසුබිමක් තුළ, නවීන ගොඩනැගිලි පරිසරයන්හි මතුවන ගිනි උවදුරු මඟහරවා ගැනීම සඳහා ඉංජිනේරුවන්, වාස්තු විද්‍යාඥයන් සහ පර්යේෂකයන් ඇතුළු දේශීය හා ජාත්‍යන්තර විද්වතුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටිති. මෙහිදී ගොඩනැගිලි පරිසරයන්හි ගිනි ස්ථාවරත්වය පිළිබඳ ‘කොළඹ ප්‍රකාශනය (2026)’ එළිදැක්වීම මෙන්ම ගිනි ආරක්ෂණ දැනුවත්භාවය සහ පර්යේෂණ නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම ඇතුළු අරමුණු රැසක් අපේක්ෂා කෙරේ.
















