මැදපෙරදිග පවතින යුද වාතාවරණය හේතුවෙන් හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා ගෝලීය ගුවන් යානා ඉන්ධන සැපයුමට දැඩි බාධා එල්ල වී ඇති බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) අනතුරු අඟවයි. විශේෂයෙන්ම යුරෝපය සතු ගුවන් යානා ඉන්ධන තොග තවත් සති හයකට පමණක් සෑහෙන මට්ටමකට පහත වැටී ඇති අතර, ජූනි මාසය වන විට සැපයුම් මාර්ග යථා තත්ත්වයට පත් නොවන්නේ නම් ගුවන් ගමන් රැසක් අවලංගු කිරීමට සිදුවනු ඇතැයි වාර්තා වේ.
මෙම තත්ත්වය ඕස්ට්‍රේලියානු සංචාරකයන්ට ද සෘජුව බලපා ඇති අතර, ඉන්ධන පිරිවැය ඉහළ යාම නිසා ගුවන් ප්‍රවේශ පත්‍ර මිල පසුගිය වසරට වඩා 50% කින් පමණ ඉහළ යා හැකි බව ගුවන් සේවා විශේෂඥයෝ පෙන්වා දෙති. ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ක්වාන්ටාස් (Qantas) සහ වර්ජින් ඕස්ට්‍රේලියා (Virgin Australia) වැනි ගුවන් සමාගම් දැනටමත් සිය අභ්‍යන්තර ගුවන් ගමන් වාර සංඛ්‍යාව සීමා කිරීමට පියවර ගෙන ඇත. යුරෝපය සිය ඉන්ධන අවශ්‍යතාවයෙන් 75% ක්ම මැදපෙරදිගින් ආනයනය කරන බැවින්, මෙම අර්බුදය ඉදිරි සති කිහිපය තුළ තවදුරටත් උග්‍ර විය හැකි බවට අනාවැකි පළ වේ.














