4 May 2024
#දේශීය #පුවත්

අපි බෙදුවොත් ඡන්ද ගුංඩු ..විපක්ෂය බෙදුවොත් සමාජ සේවය් – ඇමැති ප්‍රසන්න

රට පුරා දිස්ත්‍රික්ක 18ක අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් නොමිලේ සහල් ලබා දීමේ ආණ්ඩුවේ ව්‍යාපෘතිය තුල කිසිදු දේශපාලන අරමුණක් නොමැති බවත් එය ඡන්ද ගුංඩුවක් නොවන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (21) ගම්පහ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් වලට සහල් බෙදා දීමේ වැඩසටහන්වලට එක් වෙමිනි. මෙම වැඩසටහන කැලණිය, බියගම, මහර, කටාන හා දිවුලපිටිය යන ආසන වල පැවැත්විණ.

අමාත්‍යවරයා එහිදී කියා සිටියේ සහල් බෙදන්නේ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් නොවන බවයි.

ආණ්ඩුවෙන් ජනතාවට යමක් බෙදුවොත් එය ඡන්ද ගුංඩුවක් ලෙස හදුන්වන, විපක්ෂය යමක් බෙදුවොත් එය ජනතා සේවය ලෙස හදුන්වන විපක්ෂයේ ගොන් තියරිවලට නොරැවටෙන ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

එහිදී ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ අදහස් පල කලේය “මේ අඩු ආදායම්ලාභීන්ට සහල් බෙදන ව්‍යාපෘතිය ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගත් ඡන්ද ගුංඩුවක් කියලා විපක්ෂය කියනවා. මේ ව්‍යාපෘතියේ කිසිම දේශපාලන අරමුණක් නෑ. මේක කිසි සේත්ම ඡන්ද ගුංඩුවක් නෙමෙයි. මේ සහල් නොමිලේ ලබා දීම ආරම්භ කලේ ඡන්ද බලාගෙන නෙමෙයි. මේක ජනතාව පත් වෙලා ඉන්න පීඩාව වටහාගෙන ඔවුන්ට යම් කිසි සහනයක් සැලසීම සදහා ගත්ත පියවරක් . අලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන තමයි අපි මේක සැලසුම් කළේ. ඒත් රජයේ සහල් අතිරික්තයක් නොතිබුණ නිසා අපිට සහල් ගෙන්වන්න වුණා. ඒ සහල් ලැබෙනකොට ප්‍රමාද වුණා. සමහරු අහනවා සහල් බෙදලා මිනිසුන්ගේ ප්‍රශ්ණ විසදන්න පුලුවන්ද කියලා. බඩු බෙදන්නේ ප්‍රශ්ණ විසදන්න නෙමෙයි. ජනතාව මුහුණ දීලා ඉන්න ආර්ථික පීඩනයට යම් සහනයක් වෙන්න විතරයි. අපිට ණය ආධාර දෙන මූල්‍ය සංවිධාන සමාජ සුබ සාධන වැඩ කරන්න එපා කියලා තියෙද්දීයි අපි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. විපක්ෂය අද මේ ව්‍යාපෘතියට මඩ ගහනවා මේක ඡන්ද ගුංඩුවක් කියලා. විපක්ෂයත් ඔය එක එක ඒවා බෙද බෙදා යන්නේ. අනුර කුමාර දිසානායක මහත්තයාත් සජිත් ප්‍රේමදාස මහත්තයලාත් ජනතාවට බඩු බෙදනවා. මාර වැඩේ කියන්නේ ඒ අය බෙදන කොට ඒවා සමාජ සේවය. ජනතාව වෙනුවෙන් කරන සේවය. ආණ්ඩුව බෙදුවොත් ඡන්ද ගුංඩු. මාර තියරි ඒවා. ආණ්ඩුව බෙදනකොට වැරදියි. එයාලා බෙදන කොට හොදයි. ආණ්ඩුව බෙදනකොට ඒක ඡන්ද ගුංඩු. විපක්ෂය බෙදනකොට ඒක සමාජ සේවා. විපක්ෂයේ ගොන් තියරි වලට රුවටෙන්න එපා. විපක්ෂයේ මඩ අවලාද වලට අපි ආණ්ඩුවේ ජනතා සේවය නතර කරන්න බෑ. අපි ජනතාව වෙනුවෙන් ගත්ත තීන්දුවක් ආපසු හරවන්නේ නෑ. දැන් රට ආර්ථික වශයෙන් ස්ථාවර වෙමින් තියෙන්නේ. ඒක කලේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. මයික් ඉස්සරහා පම්පෝරි ගහන වෙන්ඩ ජනාධිපතිවරු කවුරුත් ඒ අභියෝගය භාර ගත්තේ නෑ. ඒ අය බයේ හැංගුනේ ඇද යට. ඒ නිසයි රට ආර්ථික වශයෙන් ගොඩගන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අපි අපේ සහයෝගය දෙන්නේ. ඒක යුතුකමක් වගේම පැහැර හැරිය නොහැකි වගකීමක් යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සහන් ප්‍රදීප්, ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ යන මහත්වරුන් මෙහිදී කථා කලා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *