27 April 2024
#දේශීය

ඡන්දේට සල්ලි දෙන්න බැරිනම් ඉදිරිපත් වූ රාජ්‍ය සේවක අපේක්ෂකයන්ගේ වැටුප්වත් ගෙවන්න – විපක්ෂනායක සජිත්

මැතිවරණයට මුදල් දෙන්න බැරි නම් ඉදිරිපත් වූ රාජ්‍ය සේවක අපේක්ෂකයන්ගේ වැටුප්වත් හරියට ගෙවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රාජ්‍ය සේවයේ සිට නිවාඩු ගෙන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂක අපේක්ෂිකාවන්ට අගතියක් නොවන ආකාරයට ඔවුන්ගේ වැටුප් ගෙවීම් සිදු කරන බවට විෂය බාර ඇමතිවරයා මීට පෙර කියා සිටියත් අද වන විටත් එම වැටුප් ගෙවා නැති බවත් එබැවින් රජයට සෘජු තීන්දුවක් ගෙන මෙම අපේක්ෂක අපේක්ෂිකාවන්ට හිමි වැටුප් සහ දීමනා ගෙවන්න බැරි හේතුව කුමක්ද කියා තමා විමසන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (28) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මේ වන විට මැතිවරණය පවත්වනවාද නැද්ද කියා සංක්‍රාන්තික කාලයක රජය පසුවන බැවින් මෙම අපේක්ෂක අපේක්ෂිකාවන්ට වැටුප් සහ දීමනා නිසි පරිදි නොලැබීම බරපතල කරුණක් බවත් මෙය විහිළුවට කරුණක් බවත් මෙම වැටුප් අහිමි වී ඇත්තේ ඔවුන්ගේ වරදින් නොවන බවත් රජයට මැතිවරණයක් සඳහා මුහුණ දීමට ඇති බියගුළු කම නිසා සහ කශේරුකාවක් නොමැති නිසා මේ තත්ත්වය උදා වී ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

මෙය දේශපාලන ගැටලුවක් නොවන බවත් ආණ්ඩුව මැතිවරණයට මුදල් දීමෙන් වැළකී සිටිම නිසා මැතිවරණය නතර වී ඇති බැවින් තවත් රාජ්‍ය සේවකයන් අනාථ නොකර මැතිවරණයක් පැවැත්වෙන්නේ නැතිනම් මෙම අපේක්ෂකයන්ට හිමි වැටුප් සහ දීමනා ලබා දෙන ලෙසත් හෙතෙම විෂය භාර අමාත්‍යවරයාගෙන් සහ කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *