ඉගිනියාගල පොලිස් ස්ථානයට විවිධ රාජකාරී සඳහා ආදායම් වශයෙන් ලැබුණු රුපියල් 290,000ක පමණ මුදලක් වංචා කළ එම පොලිස් ස්ථානයේම රාජකාරී කළ කාන්තා පොලිස් සැරයන්වරියක් අම්පාර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.අම්පාර පොලිස් අධිකාරී කාර්යාලය විසින් සිදු කරනු ලැබූ අභ්‍යන්තර විගණනයකදී මෙම මූල්‍ය අක්රමිකතාව අනාවරණය වී ඇති අතර, ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා බලපත්‍ර ලබා දීම ඇතුළු විවිධ සේවාවන් හරහා පොලිසියට අය වන ආදායම් මුදල් නිසි පරිදි අම්පාර පොලිස් අධිකාරී කාර්යාලයේ නිල ගිණුමේ තැන්පත් කිරීම පැහැර හැර මෙම වංචාව සිදු කර ඇති බව විගණනයේදී තහවුරු වී ඇත. අම්පාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ලගේ නියෝග මත සහ අම්පාර කොට්ඨාස වැඩබලන සහකාර පොලිස් අධිකාරී (1) සම්පත් වික්‍රමරත්නගේ අධීක්ෂණය යටතේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක සෞම්‍ය බාලසූරිය ඇතුළු නිලධාරී කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන අතර, සැකකාරිය අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














