වතුර බෝතල් විකුණන මුවාවෙන් මිලි ලීටර් 375 බෝතල්වල නීතිවිරෝධී මත්පැන් පුරවා සීල් කර විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් අනාවරණය කර ගැනීමට දීප ව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත්ව තිබේ. මහර, දලුපිටිය ප්‍රදේශයේ නිවසක පසුගිය 28 වනදා සිදු කළ වැටලීමකදී මෙම ජාවාරම අනාවරණය කරගෙන ඇත.
වතුර බෝතල් ලෙස පෙනී යන අයුරින් සකස් කර තිබූ, කසිප්පු පිරවූ මිලි ලීටර් 375 බෝතල් 28ක් එහිදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් මුළු මත්පැන් ප්‍රමාණය මිලි ලීටර් 10,500ක් බව සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඔහු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මෙම උපක්‍රමශීලී ජාවාරමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් සොයා සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය වැඩිදුර විමර්ශන පවත්වයි.
මෙම වැටලීම සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. ඒ. එන්. පේමරත්න මහතාගේ නියෝග මත සහ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කුමාර රාජපක්ෂ හා සුරාබදු අධිකාරී පී. එන්. හේමන්ත යන නිලධාරීන්ගේ උපදෙස් පරිදි සිදු කර තිබේ. දීප ව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නීල් ඒකනායක මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීමට එක්ව ඇත.














