ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී රජය ලබා ඇති ප්‍රගතිය සහ රටේ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සිය පැසසුම පළ කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සෝනාලි ජේන්-චන්ද්‍රා මහත්මිය ප්‍රමුඛ නියෝජිත පිරිසක් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී මෙම අගය කිරීම සිදු විය.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගන්නා ඉදිරි පියවර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව නියෝජිත පිරිස සහතික කළහ. ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන විස්තීර්ණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහනේ 07 වැනි සමාලෝචනයේදී ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරීත්වය නිල වශයෙන් ඇගයීමට ලක් කෙරේ. එම සමාලෝචනයට පෙර ඉටු විය යුතු වගකීම් සපුරාලීමට රජය අපේක්ෂා කරයි.
IMF සහය ලබන බොහෝ රටවලට වඩා ශ්‍රී ලංකාව ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත්, බාහිර කම්පන මධ්‍යයේ වුවද සාර්ව ආර්ථික ස්ථායිතාව පවත්වා ගැනීමට රජය දැක්වූ කැපවීම සුවිශේෂී බවත් නියෝජිත පිරිස පෙන්වා දුන්හ. ආර්ථික ස්ථාවරභාවය ප්‍රමුඛතාවක්ව පවතින අතරම, ආර්ථික ප්‍රතිසාධනයේ ප්‍රතිලාභ ජනතාවට සෘජුවම ලබා දීම රජයේ අවසාන අරමුණ බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී එක්සත් ජනපද තීරුබදු පැනවීම්, ස්වභාවික විපත් සහ මැදපෙරදිග යුදමය තත්ත්වය වැනි බාහිර අභියෝග රැසකට මුහුණ දීමට සිදු වූ බවත්, එසේ වුවද රට ප්‍රතිසාධන මාවතේ ස්ථාවරව පවත්වා ගැනීමට රජය කඩිනම් පියවර ගත් බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. පසුගිය 24 වැනිදා සිට 30 වැනිදා දක්වා කොළඹ සිදු කළ සංචාරයේ නිමාව සනිටුහන් කරමින් මෙම හමුව පැවැත්විණි.














