ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලබාදුන් විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ශ්‍රී ලංකාව විසින් ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළ පස්වන සහ හයවන සමාලෝචන ඒකාබද්ධව සාර්ථකව නිම කිරීමෙන් පසුව නිකුත් කරන ලද වාර්තාවක මේ බව දැක්වේ.
වත්මන් ගෝලීය දේශපාලනික තත්ත්වයන් ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික ගමන කෙරෙහි සෘණාත්මක බලපෑම් එල්ල කරයි. විශේෂයෙන් මැද පෙරදිග යුධමය තත්ත්වය හේතුවෙන් මෙරට ආර්ථික දැක්මට සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වයට දැඩි අවධානමක් සහ අහිතකර බලපෑම් එල්ල වී ඇත.
මෙම යුධමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම, උද්ධමනය ඉහළ යාම සහ ජංගම ගිණුමේ ශේෂය දුර්වල වීමට හේතු විය හැකි අතර සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම් පහත වැටීමද ආර්ථිකයට බලපෑම් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවලට අනුව, විදේශ ගෙවීම් හිඟය පියවා ගැනීම සඳහා වන ක්‍රියාමාර්ග සහ ආනයන සීමා කිරීම්වලට අදාළ අඛණ්ඩ නිර්ණායකයන් ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණයෙන්ම සපුරා නොමැත. නව බාහිර ගෙවීම් හිඟයන් ඇති නොකර ගැනීම සහ ආනයන සීමාවන් තවදුරටත් දැඩි නොකිරීම වැනි අඛණ්ඩ නිර්ණායකයන් නිසි පරිදි නිරීක්ෂණය වී නොමැති බව අරමුදල පවසයි.
විදේශීය සංචිත ශක්තිමත් කර ගැනීම සඳහා නම්‍යශීලී විනිමය අනුපාතික ක්‍රමවේදයක් පවත්වා ගැනීම සහ ගෙවුම් ශේෂ පියවීමේ පියවරයන් ක්‍රමයෙන් ඉවත් කිරීම තීරණාත්මක වේ. මෙම බාහිර අභියෝග හේතුවෙන් මේ වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 3 ක් දක්වා මන්දගාමී වනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කරයි.
පසුගිය කාලසීමාව තුළ ක්‍රියාත්මක කරන ලද දැඩි ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා මෙරට ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය වී ඇති බවත්, එමඟින් පීඩාවට පත් වූ ජනතාව රැකගැනීම සඳහා සහන සැලසීමට රජයට අවස්ථාව ලැබී ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
















