සයිබර් සොරකම් හේතුවෙන් රජයට සිදුවන මූල්‍ය පාඩු පියවා ගැනීම සඳහා මහජනතාවගේ බදු මුදල් භාවිත කරන්නේ නම්, ඒ පිළිබඳව අයවැය ලේඛනය මඟින් පැහැදිලිව අනාවරණය කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කරයි. මෙරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මෙහෙයුම් ප්‍රධානී එවන් පැපපෝර්ජියෝ මහතා ප්‍රකාශ කර ඇත්තේ, එවැනි ඕනෑම මූල්‍ය පියවීමක් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ විධිවිධානවලට අනුකූලව සහ නිසි නීතිමය පදනමක් මත සිදුවිය යුතු බවයි.අයවැය ලේඛනයට මෙවැනි තොරතුරු ඇතුළත් කිරීම මඟින් පාර්ලිමේන්තු අධීක්ෂණයට සහ මහජන විනිවිදභාවයට අවස්ථාව සැලسෙන බව පෙන්වා දෙන ඒ මහතා, සයිබර් සොරකම් හේතුවෙන් සිදුවන පාඩු පියවීමට මහජන මුදල් යොදා ගැනීම අභ්‍යන්තර පාලන ක්‍රමවේද සහ විගණන ක්‍රියාවලියට යටත් විය යුතු බවද සඳහන් කළේය.මෑතකදී මුදල් අමාත්‍යාංශයේ විද්‍යුත් තැපැල් පද්ධතියට ඇතුළු වූ හැකර්වරුන් පිරිසක් විසින් ඕස්ට්‍රේලියාවේ ‘එක්ස්පෝර්ට් ෆයිනෑන්ස්’ ආයතනයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක මුදලක් සහ තවත් රටවල් කිහිපයකට (එක්සත් රාජධානියට ඩොලර් මිලියන 1.2ක්, ජර්මනියට යුරෝ මිලියන 4ක් සහ බෙල්ජියමට යුරෝ මිලියන 60ක් ලෙස) සිදුකිරීමට තිබූ ගෙවීම් වංචනික ලෙස වෙනත් ගිණුම් වෙත හරවා යැවීමට උත්සාහ කර තිබේ. කෙසේ වෙතත්, නිලධාරීන්ගේ කඩිනම් මැදිහත්වීම සහ ජේ.පී. මෝගන් සමාගමේ ගෝලීය වංචා වැළැක්වීමේ මෙහෙයුම් කණ්ඩායමේ සහභාගීත්වයෙන් එම වංචනික ගෙවීම් නතර කර ගැනීමට හැකි වී ඇති අතර, මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.වර්තමානය වන විට සයිබර් සොරකම් වඩාත් සංකීර්ණ වී ඇති බැවින් රාජ්‍ය මූල්‍ය පද්ධතියට එල්ල වී ඇති අවදානම පාලනය කිරීම සඳහා, රාජ්‍ය මූල්‍ය පාලන පද්ධති ශක්තිමත් කිරීමට, අභ්‍යන්තර පාලන ක්‍රමවේද විධිමත් කිරීමට සහ නව ණය කළමනාකරණ තොරතුරු පද්ධති ස්ථාපිත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට තාක්ෂණික සහාය ලබා දෙන බවද පැපපෝර්ජියෝ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














