තරග පාවාදීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ Jaffna Kings කණ්ඩායමේ සම හිමිකරු ඇතුළු සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් කරන ලද ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් අද (27) ප්‍රතික්ෂේප කර තිබේ. සිද්ධියට අදාළව ඉකුත් (24) වන දින සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කේ.ඩබ්.එස්. ප්‍රනාන්දු විසින් අධිකරණයට ගොනුකර තිබූ මෝසමක් මඟින්, තම සේවාදායකයන් දෙදෙනා රෝගී තත්ත්වයෙන් පෙළෙන බැවින් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා තිබුණද, ශ්‍රී ලංකා පොලිසියේ ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බලා මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
ඒ අනුව, 2026 LPL තරගාවලියේ තරග පාවා දීම සම්බන්ධයෙන් සැකකරුවන් වන ‘Jaffna Kings’ කණ්ඩායමේ හිමිකරු වන මංජොට් කල්රා සහ එම සිද්ධියට ආධාර අනුබල ලබා දුන් බව කියන යුවරාජ් පුෂ්පා යන ඉන්දීය ජාතිකයින් දෙදෙනා ලබන 31 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර ඇත. සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන අඛණ්ඩව සිදුකරන බැවින් ඔවුන්ට ඇප ලබාදීමට විරුද්ධ වන බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇති අතර, ක්‍රීඩාව තුළ සිදුවන මෙවැනි දූෂණ ක්‍රියා සහ නීතිවිරෝධී ජාලයන් මැඩලීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන ගන්නා දැඩි ක්‍රියාමාර්ග ජාතික සහ ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව තිබේ.














