27 April 2024
#දේශීය

ඉදිරි සති දෙක තුළ රථ වාහන අමතර කොටස් සහ රූපලාවාන්‍ය උපකරණවල ආනයන සීමා ඉවතට – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

රූපලාවාන්‍ය උපකරණ, මෝටර් රථ අමතර කොටස් ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමා ඉදිරි සති දෙකක කාලය තුළ ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (21) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ශ්‍රී ලංකා රේගුවට අයත් අංගනවල නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි. මෙහි දී රේගු භාරයට ගෙන රාජසන්තක කරන ලද ආනයනය තහනම් භාණ්ඩ තොගයක් ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය. ජංගම දුරකතන, රූපලාවාන්‍ය උපකරණ ඇතුළු භාණ්ඩ ඒ අතර වෙයි.

අදාළ ක්ෂේත්‍රයන්හි රැකියාවන්වල නිරත පිරිස් වෙතින් දිගින් දිගටම ලද අභියාචනා සැලකිල්ලට ගනිමින් මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත මෙම සීමා ඉවත් කිරීමට සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

පවතින විනිමය අර්බුදය හේතුවෙන් භාණ්ඩ 1465කට ආනයන සීමා පනවමින් ඉකුත් අගොස්තු මස 23 වැනි දා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි. පසුව ඉදිරිපත් වූ අභියාචනා සැලකිල්ලට ගනිමින් භාණ්ඩ 708ක් එම ලැයිස්තුවෙන් ඉවත් කෙරුණු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබෙන සාධාරණ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඉදිරියේ දී මෙම ආනයන සීමා ක්‍රමානුකූලව ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.බී.එස්.සී. නෝනිස් මහතා ඇතුළු රේගුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාව එක් වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *