උතුරු ග්‍රීසියේ මුහුදුබඩ සංචාරක නගරයක් වන Siviri ආසන්නයේ පැතිර යන විශාල ලැව්ගින්නක් හේතුවෙන් සංචාරකයන් 250කට වැඩි පිරිසක් මුහුදු මාර්‌ගයෙන් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර තිබේ. බෝට්ටු 15ක් යොදාගෙන වෙරළේ සිටි පිරිස ඉවත් කර ඇති අතර, ඇතැම් සංචාරකයන් පිහිනුම් ඇඳුම්වලින්ම දරුවන් ද රැගෙන ඉවත් වූ බව වාර්‌තා වේ.
ප්‍රදේශය පුරා ඝන දුමක් පැතිර යද්දී බෝට්ටුවලින් පිටවීම සඳහා විශාල පිරිසක් ජැටියක් මත පෝලිම්වල රැඳී සිටින ආකාරය ප්‍රාදේශීය රූපවාහිනී දර්‌ශනවල දැක්වේ. පැයට කිලෝමීටර් 100ක් දක්වා වේගවත් විය හැකි දැඩි සුළං හේතුවෙන් ගින්න පාලනය කිරීමේ මෙහෙයුම් දුෂ්කර වී ඇති බව ගිනි නිවන අංශ සඳහන් කරයි.
පසුගිය පැය 24 තුළ ග්‍රීසිය පුරා වනාන්තර ගිනිගැනීම් 40ක් වාර්‌තා වී ඇති අතර, බ්‍රහස්පතින්දා රාත්‍රිය වනවිට ඉන් 9ක් තවමත් පාලනය කර නොතිබූ බව වාර්‌තා වේ. ග්‍රීසියේ මෙම කාලසීමාවේ ලැව්ගිනි සාමාන්‍යයෙන් වාර්‌තා වුවද, නියඟය සහ දිගුකාලීන අධික කාලගුණික තත්ත්වයන් හේතුවෙන් එම අවදානම තවදුරටත් ඉහළ යමින් පවතී.














