ස්වභාවික වායුව අස්වාභාවික විසඳුමක්ද? ( අරුණ පුවත්පත )

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි කැලණිතිස්ස සහ කෙරවලපිටියේ දැනට පිහිටි ටර්බයින බලාගාර 2023 වන විට ස්වාභාවික වායුවෙන් (ස්වා) ක්‍රියා කරවන බව පවසා ඇත.

එම නිසා ජනාධිපතිතුමාගේ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට නම් ස්වාභාවික වායුව කඩිනමින් ආනයනය කළ යුතු වේ.

ස්වාභාවික වායුව ආනයනය කිරීමේ සම්ප්‍රදායක ක්‍රම

වායුවක් ආනයනය කිරීමට පහසුම ක්‍රමය නළ මාර්ගයයි. නමුත් ලංකාව වැනි දූපත් රටකට එය කිරීම අපහසුය. ඊළඟ විකල්පය නම් වායුව ද්‍රව බවට පත් කර නැව් මාර්ගයෙන් ප්‍රවාහනය කිරීමයි. පළමුව අංශක-163 දක්වා සිසිල් කර ද්‍රව බවට පත් කළ විට පරිමාව 1/600 ට අඩු වේ. මෙසේ සිසිල් කරන ලද ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ඒ සඳහා විශේෂයෙන් තනන ලද විශාල පරිවෘතික නෞකාවන් අවශ්‍යය.

සාම්ප්‍රදායිකව මෙවැනි නෞකා ඝන මීටර් 150,000 සිට 260,000 අතර වූ ධාරිතාවයෙන් යුක්ත වන අතර ගැඹුරින් මීටර් 16 ක් පමණ වේ. ඒවා නැංගුරම්ලීමට ඊට වඩා වැඩි ගැඹුරින් යුත් ජැටියන් සහිත වරායන්ද අවශ්‍ය වේ. නැවේ සිට ද්‍රවිත ස්වා ගොඩබෑම සදහා ජැටිය මතම පරිවෘතික ගබඩා ටැංකි තැනිය යුතුය. නැවේම සවි කර තිබෙන දිගු අතක් වැනි නළයකින් ද්‍රවිත වායුව ගබඩා ටැංකිවලට පොම්ප කර අනතුරුව වායුව බවට වාෂ්ප කර නළ මගින් පාරිභෝගිකයන් වෙත බෙදා හරිනු ලැබේ.

මෙවැනි ද්‍රව වායු පර්යන්තයක් ගොඩබිමේ තැනීම ඩොලර් කෝටි 50ටත් වඩා මිල විය හැකි අතර තනා නිම කිරීමට වසර 4ටත් වඩා වැඩි කාලයක් ගත වනු ඇත. එවැන්නක් ලාභ සහිතව පවත්වා ගෙන යෑමට නම් ඉන් ද්‍රව වායුව ටොන් ලක්ෂ දහයක්වත් වසරකට ආනයනය කළ යුතුය. මෙපමණ වායු ප්‍රමාණයකින් ධාරිතාව මෙගාවොට් 1,000ක් පමණ වූ බලාගාර ක්‍රියා කළ හැකිය.

ස්වාභාවික වායුව භාවිතයේ ආර්ථික වාසි

පසුගිය අයවැය කතාවේදී ද සඳහන් කළ පරිදි කැලණිතිස්ස සංකීර්ණයේ ස්ථාපිත මෙවො 320 ක ධාරිතාවයෙන් යුත් ටර්බයින බලාගාර දෙකද කෙරවලපිටියේ දැනට ස්ථාපිත මෙ.වො. 300 ක බලාගාරය සහ ස්ථාපිත කිරීමට යෝජිත මෙ.වො. 300ක බලාගාරය ද ස්වාභාවික වායුවෙන් බල ගැන්වීමට යෝජිතය. ද්‍රව වායු ටොන් එකක සාමාන්‍ය මිල ඩොලර් 500ක් පමණ වන අතර වායු ටොන් ලක්ෂ දහය ඩොලර් කෝටි 50ක් නොහොත් රුපියල් කෝටි 9,000ක් පමණ මිල වනු ඇත. මෙම බලාගාර ඩීසල් ඉන්ධනයෙන් ක්‍රියා කළේ නම් ඊට වසරකට ඉන්ධන ටොන් ලක්ෂ 12ක් පමණ දහනය වන අතර රුපියල් කෝටි 12,000 ක් පමණ වැය වනු ඇත. එනම් මෙම බලාගාර ස්වාභාවික වායුවෙන් ක්‍රියා කරවීමෙන් වසරකට රුපියල් කෝටි 3000ක් පමණ ඉතිරි කර ගත හැකිය.

වායුව ආනයනට ගත් පෙර උත්සාහයන්

පසුගිය වසර දශකයටත් වඩා වැඩි කාලයක සිට විවිධ අවස්ථාවන්හි විවිධ පාර්ශ්වකරුවන් විසින් ද්‍රවිත ස්වාභාවික වායුව ආනයනය කිරීමට රජය වෙත යෝජනා ඉදිරිපත් කර ඇත. විවිධ හේතූන් මත මෙම එකදු යෝජනාවක්වත් අගැයීමට ලක් නොවී ප්‍රතික්ෂේප කරන ලද අතර ඉන් කිහිපයක් තවමත් තීරණයන් අපේක්ෂාවෙන් සිටී. වසර 2010.12.08 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් රටේ විවිධ ක්ෂේත්‍රවල ඉන්ධනයක් ලෙස භාවිතයට ස්වාභාවික වායුව යොදා ගත යුතුයැයි තීරණයක් ගෙන තිබියදීත් අවශ්‍ය පියවර ගැනීමට අදාළ අමාත්‍යාංශ උනන්දුවක් නොදැක්වීය.

මේ අතරතුර වසර 2016 මැද භාගයේදි ඉන්දීය ද්‍රව වායු සමාගමක නියෝජිතයෙක් මෙහි පැමිණ අදාළ නිලධාරීන් හමුව ඔවුන්ගේ කේරළයේ තිබෙන ස්වාභාවික වායු පර්යන්තයේ සිට කුඩා වාහක යොදවා මෙරටට වායුව ගෙනවිත් බෙදා හැරීමට යෝජනාවක් ඉදිරිපත් කළේය. ඔවුන් විසින් ආනයනය කරන වායුවට ගෙවනු ලබන මුදලට ප්‍රවාහන ගාස්තු පමණක් එකතු කර මෙරටට අලෙවි කළ හැකි බවද පැවසීය. නමුත් ඊට සාර්ථක ප්‍රතිචාරයක් මෙරටින් නොලැබුණි. ඉක්බිතිව 2017 අප්‍රේල් මාසයේදී ලංකාවෙ අගමැතිතුමා ඉන්දීය අගමැතිතුමා හමු වූ අවස්ථාවේ අත්සන් කරන ලද සහයෝගිතා ගිවිසුම් අතරට ස්වාභාවික වායුව සැපයීම සහ මෙවො 500 ක වායු බලාගාරයක් තැනීම අඩංගු ව්‍යාපෘතියක්ද ඇතුළත් කර එහි ඉන්දීය නියෝජිත ලෙස ඉහත සඳහන් කරන ලද සමාගමම නම් කෙරිණ.

ආනයනය සඳහා පූර්ව ශක්‍යතා වාර්තාවක් පිළියෙල කිරීම

වසර 2016 දි ජපන් රජය මගින්ද මෙවො 500 ක ගල්අඟුරු බලාගාරයක් ලංකාවේ තැනීමට කැමත්ත ප්‍රකාශ කර සිටියේය. පසුව ප්‍රතිපත්ති තීරණයක් මත එය වායු බලාගාරයකට වෙනස් කරන ලෙස ලංකාව ඉල්ලා සිටි අතර ඊට ජපන් රජය එකඟ විය. වසර 2017.07.11 දින පැවැත් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි ඉන්දීය සහ ජපන් රජයන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා අනුමත විය.

අනතුරුව 2018.02.27 දින පැවැත් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම පිණිස ත්‍රෛපාක්ෂික ඒකාබද්ධ ව්‍යාපාරයක් ස්ථාපිත කිරීම අනුමත කර එහි ලංකාවෙ නියෝජිත ලෙස වරාය අධිකාරියට අනුබද්ධිත ශ්‍රී ලංකා වායු පර්යන්ත සමාගම පිහිටු වීමටද තීරණය විය. වසර 2018.04.09 දින එක් එක් පාර්ශ්වකරුවන්ගේ වගකීම් සහ දායකත්වය ඇතුළත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. නමුත් එහි අඩංගු කරුණු මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැත.

වසර 2018 දි ව්‍යාපෘතිය පිළිබඳ පූර්ව-ශක්‍යතා අධ්‍යයනයක් කරන ලදුව ඒ අනුව ද්‍රව වායුව ආනයනය සඳහා කොළඹ වරායේ දිය කඩනය කෙළවර පාවෙන පර්යන්තයක් ස්ථාපිත කිරීමට යෝජිතව ඇත. ද්‍රව වායුව රැගෙන එන නෞකාවෙන් ද්‍රව වායුව පර්යන්තයේ තනා ඇති ගබඩා ටැංකිවලට ගොඩ බා එහිදී වාෂ්ප කර ලබා ගත් වායුව නළ මාර්ගයෙන් පාරිභෝගික ස්ථාන වෙත යැවීම මෙමගින් සිදු කෙරෙනු ඇත. කෙරවලපිටියේ බලාගාර දක්වා මුහුදු පතුල දිගේ එළන ලද නළ මාර්ගයකිනුත් කැලණිතිස්ස දක්වා නගරයේ වීදි ඔස්සේ එළන ලද නළ මාර්ගයකිනුත් වායුව ප්‍රවාහනය කිරීමට යෝජිතව තිබිණි.

පරිසර අගැයීම් වාර්තාව සහ ශක්‍යතා වාර්තාව

මෙම ව්‍යාපෘතිය පිළිබඳ වසර 2019 දී කරන ලද පරිසර බලපෑම් ඇගයීම් වාර්තාව පිළිබඳ මහජන අදහස් දෙසැම්බර් මාසයේදි කැඳවන ලදුව මෙම ලිපිකරු විසින්ද එහි අඩුපාඩු කිහිපයක් පෙන්වා දෙන ලදී. කොළඹ වරාය වැනි කාර්යබහුල වරායක් ඇතුළත ද්‍රව වායු පර්යන්තයක් පිහිටුවීමෙන් එහි සාමාන්‍ය වැඩ කටයුතුවලට බාධා පැමිණෙනවාට අමතරව ඊට පැමිණෙන වෙනත් නෞකා විසින් ගෙවිය යුතු රක්ෂණ වාරිකවල වැඩි වීමක්ද සිදු වනු ඇත. තවද, නගරයේ වීදි ඔස්සේ නළ එළීමද අවදානම් සහිත කාර්යයකි. මෙම අඩුපාඩු පෙන්වා දුන්නද ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණි.

මේ අතරතුර 2019 මාර්තු මාසයේදි රජය විසින් ආසියානු සංවර්ධන බැංකුව (ආසංබැ) වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවකින් බලාගාර සඳහා අවශ්‍ය ස්වාභාවික වායුව ලංකා විදුලිබල මණ්ඩලය මගින් ලබා ගැනීමට ශක්‍යතා වාර්තාවක් ලබා ගැනීමටත් ඊට අවශ්‍ය පුහුණුව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට ලබා දීමටත් සහාය පතා සිටියේය. මෙම ඉල්ලීමට එකඟ වූ ආසියානු සංබර්ධන බැංකුව ඒ සඳහා ඩොලර් 225,000 ක් ප්‍රදානය කර ඇති අතර අවශ්‍ය උපදේශකයන්ගේ සේවය ලබා දීමටත් ශක්‍යතා වාර්තාව 2020 මැයි මාසය වන විට ලබා දීමටත් එකඟ වී ඇත. නමුත් මේ වන තුරු එවැනි වාර්තාවක් ප්‍රසිද්ධ කර නොමැත.

වායුව ආනයනය විදුලිබල මණ්ඩලයට පැවරීම

ස්වභාවික වායුව ආනයනය කිරීමේ වගකීම විදුලිබල මණ්ඩලයට පැවරීම වඩා ප්‍රඥා ගෝචර නොවේ. පළමුව විදුලිබල මණ්ඩලයේ පනතට අනුව ඉන්ධන ආනයනය ඔවුනට අයත් කාර්යයක් නොවේ. දෙවනුව, අමාත්‍යාංශ අතර කාර්ය භාරයන් බෙදා දෙන ලද ගැසට් නිවේදනයට අනුව ස්වාභාවික වායුව ආනයනය සහ බෙදා හැරීම අයත් වන්නේ බලශක්ති අමාත්‍යාංශයට මිස විදුලිබල අමාත්‍යාංශයට නොවේ. මුල සිටම විදුලිය ජනනය කිරීමට ස්වාභාවික වායුව යොදා ගැනීමට විරුද්ධ වූ විදුලිබල මණ්ඩලය දැන් එය ආනයනය කිරීමේ වගකීම තමන් වෙත පවරා ගැනීමට උත්සුක වන්නේ ඇයි දැයි ප්‍රහේලිකාවකි.

අලුතින් පිළියෙල කරන ලද ශක්‍යතා වාර්තාව අනුව පර්යන්තය වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට තීරණය කර ඇත්නම් ඒ සඳහා නැවත වරක් පරිසර අගැයීම් වාර්තාවක් ලබා ගත යුතුය. එය අනුමත වූ පසු මෙරට පවතින ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව විවිධ ආයතනවලින් ඊට අනුමැතිය ලබා ගත යුතුය. විදුලිය අමාත්‍යාංශය, අමාත්‍ය මණ්ඩලය, වරාය අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පරිසර අධිකාරිය, මාර්ග අධිකාරිය, කොළඹ නගර සභාව, සහ වත්තල ප්‍රාදේශීය සභාව මින් සමහරකි. මෙම සියලුම අනුමැතියන් ලබා ගැනීමට අවම වශයෙන් වසර දෙකක්වත් ගත වනු ඇත. සමහරක් සමගාමීව ඉටු කිරීමෙන් මෙය වසරකට සීමා කිරීමට හැකි වනු ඇත.

පසුව ප්‍රසම්පාදන ලියකියවිලි පිළියෙල කිරීමටත් ලංසු කැඳවීමටත්, ඒවා අගැයීමට කමිටු පත් කිරීමටත්, ලංසු අගැයීම කර සුදුසු සැපයුම්කරුවකු තෝරා ගැනීමටත් එම කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමටත් තවත් වසර දෙකක්වත් ගත වනු ඇත. අනතුරුව කොන්ත්‍රාත්කරු සමග ගිවිසුමකට එළඹීමටත් අවශ්‍ය මූල්‍ය පහසුකම් සූදානම් කර ගැනීමටත් පර්යන්තය සථාපිත කිරීමටත් තවත් වසර 3 ක් වත් ගත වනු ඇත. එනම් මෙම යෝජිත පර්යන්තය මගින් තව වසර 6 ට මෙහායින් මෙරටට ස්වාභාවික වායුව නොලැබෙනු ඇත.

වායුව ආනයනයට තිබෙන විකල්ප ක්‍රම

මෙපමණ කාලයක් ගත වන පර්යන්තයක් ස්ථාපිත කිරීමට රජය සූදානම් වුවද ස්වාභාවික වායුව ආනයනය කිරීමට වෙනත් විකල්ප ඇත. මින් පළමුවැන්න නම් ඝන මීටර් 30,000 ක පමණ ධාරිතාවෙන් යුත් කුඩා ප්‍රමාණයේ ගැඹුර අඩු වාහකයන් මගින් ද්‍රව වායුව ආනයනය කිරීමයි. මෙවැනි වාහක නැංගුරම් ලෑමට සුදුසු ස්ථානයක් දික්ඕවිට ඇති අතර එහි දැනටමත් ධීවර වරායක් පිහිටුවා ඇත. ඊට යාබදව තමන්ගේම වියදමින්ම කුඩා වායු පර්යන්තයක් තනා ද්‍රව වායුව ආනයනය කිරීමට ආයෝජකයකු යෝජනා කර සිටියද ඊට සාර්ථක ප්‍රතිචාරයක් රජයෙන් නොලැබුණි.

දෙවැනි විකල්පය නම් පරිවෘත කරන ලද සම්මත බහාලුම්වල ද්‍රව වායුව ආනයනය කිරීමයි. සාමාන්‍ය බහාලුම් වාහක මගින් සාමාන්‍ය වරාය පහසුකම් භාවිත කර මෙම ද්‍රව වායු බහාලුම් ආනයනය කළ හැක. බහාලුම වරායෙන් පිටතට ගත් පසු එය කෙළින්ම පාරිභෝගිකයාගේ පරිශ්‍රය වෙත රැගෙන ගොස් එහිදී ද්‍රව වායුව වාෂ්ප කර වායු බවට හරවා නළ මගින් අවශ්‍ය යෙදවුමට යොමු කළ හැක. මෙය විදුලි බලාගාරයක් හෝ කර්මාන්ත පුරයක් හෝ වාහන ඉන්ධන පිරවුම් හලක් හෝ නිවාස සංකීර්ණයක් හෝ විය හැක. බහාලුම් මගින් වායුව ප්‍රවාහනය කිරීමෙන් රට පුරා නළ එළීම අවශ්‍ය නොවනු ඇත. නළ එළීමට පාරිසරික අගැයීම් අවශ්‍ය වන අතර භූමි ඉඩ කඩ ලබා ගැනීමද ගැටලුවක් වේ. තවද, නළයකින් වායුව කාන්දු වී හදිසියේ ගිනිගතහොත් එමගින් විශාල හානියක් සිදු වීමේ අවදානමද තිබේ. එම නිසා බහාලුම් මගින් වායුව ප්‍රවාහනය කිරීම වඩා ආරක්ෂාකාරි වනු ඇත. පෙර සඳහන් කළ පරිදි ජනාධිපතිවරයාගේ අභිලාෂය 2023 වන විට දැනට තිබෙන ටර්බයින බලාගාර ස්වාභාවික වායුවෙන් ක්‍රියාකර වීමය. මෙය කළ හැකි එකම මග බහාලුම් මගින් ස්වාභාවික වායුව ආනයනය කිරීමය. තෙවැනි විකල්පය නම් දැනට හම්බන්තොට වරායේ චීන රජය මගින් තනා ගෙන යනු ලබන ස්වභාවික වායු පර්යන්තයට ගෙවීමක් කර ඒ හරහා රටට අවශ්‍ය වායුව ආනයනය කිරීමය. ආනයන කරන ලද වායුව කැලණිතිස්ස සහ කෙරවලපිටිය බලාගාර වෙත අධිවේගී මාර්ගයේ එක් පසෙක එළන ලද නළ මාර්ගයක් තුළින් රැගෙන ආ හැක. නගරයට ගෙන ආ වායුව සම්පීඩනය කර කර්මාන්ත ශාලාවලට සහ ඉන්ධනහල්වලට බව්සර් මගින් සැපයිය හැකිය. නමුත් ඊට වරාය පාලක තැනගේත් මාර්ග අධිකාරියේත් පරිසර අධිකාරියේත් බලශක්ති අමාත්‍යාංශයේත් අවසානයට අමාත්‍ය මණ්ඩලයේත් අනුමැතිය ලබා ගත යුතුය. මෙය පෙර කී ක්‍රමවලට වඩා දිගු කාලීනව යෙදවිය හැකි වඩා ස්ථාවර ක්‍රමයක් ද වේ.

මෙම එක් එක් විකල්පය තාක්ෂණික සහ මූල්‍ය අගැයීමකට ලක් කර ඉතා කෙටි කාලයකින් අඩු මිලකට වායුව ලබා ගත හැකි ක්‍රමයක් තෝරා ගත යුතුය. දැනටමත් ආසියානු සංවර්ධන බැංකුව විසින් ස්වභාවික වායු ආනයනය පිළිබඳ රජයට උපදේශනය දෙනු ලබන බැවින් මෙම කාර්යභාරයද ඔවුන්ටම පැවරිය හැකිය. කෙටි කාලයකින් ක්‍රියාත්මක කළ හැකි වඩාත්ම සුදුසු ක්‍රමය නිර්දේශ කළ විට එය ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමයි.

 

උපුටා ගැනීම- අරුණ පුවත්පත  - 

http://www.aruna.lk/%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b6%b7%e0%b7%8f%e0%b7%80%e0%b7%92%e0%b6%9a-%e0%b7%80%e0%b7%8f%e0%b6%ba%e0%b7%94%e0%b7%80-%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%8f%e0%b6%b7%e0%b7%8f%e0%b7%80%e0%b7%92/

Pin It

සබැඳි පුවත්

වල් සපුගල වසර හයක අරගලය කියවමු - රවින්ද්‍ර කාරියවසම්
වල් සපුගල වසර හයක අරගලය කියවමු - රවින්ද්‍ර කාරියවසම් වල් සපුගල ගොවි ජනතාවගේ දින 86 ක අඛණ්ඩ සත්‍යග්‍රහය කින් පසුව වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කර ඇත. මෙය ජනතා ජයග්‍රහණයක් සහ ගොවි ජනතාව වන සතුන් වෙනුවෙන් හා සොබා...
එහෙව් තාක්ෂණ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන
එහෙව් තාක්ෂණ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන කොවිඩ් වසංගතයේ අඳුරු අත්දැකීම් අතරින්, ගෝලීය සංකල්පවල ප්‍රායෝගික ගැටළු මතුවෙමින් තිබෙන අවධියකි මේ. අනෙකුන් මත යැපීමේ ආදිනව විඳිමින්, ස්වයංපෝෂිතබවේ අගය ගැන කියවෙ...
කෝවිඩි-19ට සම්බන්ධයැයි සැක බරපතළ රෝගී ලක්ෂණ දරුවන් අතර මතුවෙයි
කෝවිඩි-19ට සම්බන්ධයැයි සැක බරපතළ රෝගී ලක්ෂණ දරුවන් අතර මතුවෙයි කොරෝනාවෛරස ආසාදනයට සම්බන්ධ යැයි සැලකිය හැකි දුර්ලභ නමුත් භයානක රෝග ලක්ෂණ කීපයක් දරුවන් අතර නිරීක්ෂණය වී ඇති අතර, මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස එක්සත් රාජධානියේ ...
කොරෝනා චීනයෙන් තුරන් වෙද්දී ලෝ වටා තත්ත්වය
කොරෝනා චීනයෙන් තුරන් වෙද්දී ලෝ වටා තත්ත්වය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඇරැඹි චීනයෙන් ඊයේ (අප්‍රේල් 07) එකම කොරෝනාවෛරස් රෝගී මරණයක් හෝ වාර්තා නොවිණි. පසුගිය ජනවාරියේ පටන් චීනය දෛනික සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළ...
කොවිඩ්-19 වසංගත වක්‍රය පැතලි කිරීම: ප්‍රජා වෛද්‍ය ප්‍රතිචාරය
කොවිඩ්-19 වසංගත වක්‍රය පැතලි කිරීම: ප්‍රජා වෛද්‍ය ප්‍රතිචාරය ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය යනු ශ්‍රී ලංකාව තුල මහජන සෞඛ්‍ය ක්‍රියාවට නැංවීම පිළිබද ප්‍රමුඛතම වෘත්තික සංවිධානයයි. එය ශ්‍රී ලාංකීය ජනතාවග...
උණුසුම් කාලගුණයට මුහුණ දීම !
උණුසුම් කාලගුණයට මුහුණ දීම ! පාරිසරික උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයන් ට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක මෙම දිනවල පවතින බව වාර්තා වේ. අධික උෂ්ණත්වය සහ එමගින් මිනිස් සිරුරට සිදුවිය හැකි අහිතකර තත්ත්වයන්...

Print   Email