ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඕනෑම උදව්වක් හෝ උපකාරයක් කිරීමට අසල්වැසි රටක් ලෙස ඉන්දියාව නිරන්තරයෙන් සූදානමින් සිටින බව ශ්‍රී ලංකාවේ සහකාර ඉන්දීය මහ කොමසාරිස් සරන්‍යා වී.එස්. මහත්මිය ප්‍රකාශ කළාය. මහනුවර පිහිටි ඉන්දීය සහකාර මහ කොමසාරිස් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය.
ඉන්දියාව පසුගිය කාලසීමාව තුළ අත්කරගෙන ඇති පවුල් සෞඛ්‍ය සහ යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ කරුණු ඉදිරිපත් කරමින් ඇය පෙන්වා දුන්නේ, එම අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීම තුළින් දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වන බවයි.
ඇය අවධාරණය කළ ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ.
පසුගිය කාලයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අභියෝගාත්මක අවස්ථාවන්හිදී ඉන්දියාව සිය පූර්ණ සහයෝගය ලබා දුන් බවත්, ‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වයේදී ක්ෂණික සහන සහ සේවාවන් සැපයීමට ඉන්දියාව කටයුතු කළ බවත් ඇය සිහිපත් කළාය.
වතු ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස 10,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ඇතුළු ඉන්දීය ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති රැසක් මේ වන විටත් මෙරට පවතින බව ඇය පැවසුවාය.
කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුද වැනි විවිධ බාධක හේතුවෙන් නිවාස ව්‍යාපෘතියේ යම් ප්‍රමාදයක් සිදු වුවද, එම ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීම පිළිබඳව ඉන්දියාව දැඩි විමසිල්ලෙන් පසුවන බව සහකාර මහ කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.
ඉන්දීය පවුල් සෞඛ්‍ය දර්ශක අනුව, විදුලි බල ආවරණය 98.3% දක්වා සහ පිරිසිදු පානීය ජල පහසුකම් 96.5% දක්වා ඉහළ ගොස් ඇති බවත්, අන්තර්ජාල භාවිතය සහ කාන්තා අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවල විශාල වර්ධනයක් අත්කරගෙන ඇති බවත් ඇය වැඩිදුරටත් කරුණු දැක්වූවාය.
















