ඉන්දියාවේ වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 80ක් පමණ වැය වන සුභසාධක සහ සහනාධාර පද්ධතියේ පවතින දූෂණ සහ අක්‍රමිකතා වැළැක්වීම සඳහා මධ්‍යම බැංකුව විසින් නිකුත් කරන ඩිජිටල් මුදල් (e-rupee) භාවිත කිරීමට ඉන්දීය රජය පියවර ගනිමින් සිටී.
මේ වන විට ඉන්දියාව පුරා ක්‍රියාත්මක වන නියමු ව්‍යාපෘති 10ක් මඟින් මෙම ඩිජිටල් මුදල් භාවිතයෙන් ගොවීන්ට ජල සම්පාදන පද්ධති සඳහා සහනාධාර ලබාදීම සහ සහන මිලට ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම වැනි කටයුතු පරීක්ෂාවට ලක් කෙරේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම ඩිජිටල් මුදල් “වැඩසටහන්ගත කළ හැකි” (Programmable) වීමයි. එනම්, රජය විසින් ලබාදෙන මුදල් භාවිත කළ හැක්කේ නියමිත කාර්යය සඳහා (උදා: කෘෂිකාර්මික උපකරණ මිලදී ගැනීමට) අනුමත වෙළෙඳුන්ගෙන් පමණි.
මෙම ක්‍රමය හරහා ගොවීන්ට සහනාධාර මුදල් ලැබෙන තෙක් බලා සිටීමට අවශ්‍ය නොවන අතර, මුදල් අවභාවිත වීම ද අවම වේ. දැනටමත් ඉන්දියාවේ මිලියන 10ක පමණ පිරිසක් මෙම ඩිජිටල් රුපියල භාවිත කරන බව වාර්තා වේ. කෙසේ වෙතත්, මුදල් භාවිතය සම්බන්ධයෙන් මෙලෙස පාලනයක් පැනවීම පුද්ගලිකත්වයට සහ ආර්ථික නිදහසට බාධාවක් විය හැකි බවට ඇතැම් විචාරකයෝ අනතුරු අඟවති.














