ශ්රී ලංකාව හරහා ව්යාජ වෙළෙඳ ලේඛන භාවිත කරමින් පාකිස්තාන භාණ්ඩ ඉන්දියාවට ආනයනය කිරීමේ ජාවාරමක් ඉන්දීය ආදායම් බුද්ධි අධ්යක්ෂ මණ්ඩලය විසින් අනාවරණය කරගෙන තිබේ. අදාළ ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් සිව්දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්ය වාර්තා කරයි.
පාකිස්තානයේ සිට ඉන්දියාවට භාණ්ඩ ආනයනය කිරීම තහනම් කර තිබියදී, ව්යාජ වෙළෙඳ ලේඛන යොදා ගනිමින් පාකිස්තානයට අයත් ගල් සහ ලුණු කිලෝග්රෑම් ලක්ෂ 73කට අධික ප්රමාණයක් මෙලෙස ආනයනය කර ඇති බව සඳහන් වේ.
සැප්තැම්බර් 26 වැනිදා සිට ඔක්තෝබර් 11 වැනිදා දක්වා සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම භාණ්ඩ තොගය සොයාගෙන තිබේ. ආනයනකරුවන් නවදෙනෙකු විසින් පසුගිය මාර්තු මාසයේ සිට බහාලුම් 295ක් මගින් අදාළ භාණ්ඩ ඉන්දියාවට ගෙන්වා ඇති බව වාර්තා වේ.
ඉන්දියාවේ මුන්ද්රා සහ කන්ඩිලා වරායන් වෙත ගෙනැවිත් ඇති භාණ්ඩ තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 30කට අධික බව සඳහන් වේ.
එක්සත් අරාබි එමීර් රාජ්යය පදනම් කරගත් ආයතනයක් විසින් කොළඹ වරාය හරහා මෙම භාණ්ඩ ඉන්දියාවට යවා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
















