පැවැති අධික මෝසම් වර්ෂාවත් සමඟ උතුරු සහ ඊසානදිග ඉන්දියාවේ හටගත් හදිසි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තවත් පිරිසක් අතුරුදහන් වී ඇති බව බලධාරීහු පවසති. ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ පූන්ච්, රාජෞරි සහ දෝඩා යන දිස්ත්‍රික්කවල සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති අතර, නාගලෑන්ඩ් (Nagaland) ප්‍රාන්තයේ සිදුවූ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ඊට අමතරව ඇසෑම් (Assam) ප්‍රාන්තයේ එක් අයෙකු මියගොස් ඇති අතර දිස්ත්‍රික්ක 7ක වැසියන් 57,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිති.
ගංවතුර හේතුවෙන් දේපළ රැසකට හානි සිදුව ඇති අතර, ඉන්දීය හමුදාව සහ ආපදා සහන කණ්ඩායම් එක්ව මුදාගැනීමේ මෙහෙයුම් වේගවත් කර ඇත. ඉදිරි දින කිහිපයේදීත් මෙම ප්‍රදේශවලට තද වැසි පැවැතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබීම හේතුවෙන්, හින්දු භක්තිකයින් විශාල වශයෙන් සහභාගී වන අමර්නාත් සහ වෛෂ්ණෝ දේවී (Amarnath & Vaishno Devi) වන්දනා ගමන් තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














