Instagram හරහා ළමා ලිංගික අපයෝජන ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන සහ ඒ සඳහා පහසුකම් සපයන සියලුම ගෙවුම් දැන්වීම් සහ අන්තර්ගතයන් වහාම අක්‍රීය කරන ලෙස ඉන්දීය රජය Meta සමාගමට දැඩි ලෙස නියෝග කර තිබේ. විදෙස් පුවත් නාලිකාවක විශේෂ ගවේෂණාත්මක අනාවරණයකින් පසු ඉන්දීය රජය මෙම පියවර ගෙන ඇති අතර, මෙවැනි දරුණු ගණයේ දැන්වීම් පළ කිරීමට ඉඩ දුන්නේ කෙසේද යන්න පිළිබඳව සතියක් ඇතුළත සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස දන්වා ඇත. මෙම දැන්වීම් හරහා පරිශීලකයන්ව ළමා අපයෝජන ද්‍රව්‍ය අලෙවි කරන ටෙලිග්‍රෑම් චැනල වෙත යොමු කර ඇති බව විමර්ශනයේදී හෙළි වී තිබේ.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් මෙටා සමාගම පවසන්නේ තමන් ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් Zero-tolerance (කිසිසේත්ම ඉවසීමක් නොදක්වන) ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, ලාභය වෙනුවෙන් ආරක්ෂාව පසෙකලා මෙවැනි දැන්වීම් හිතාමතාම යොමු කළ බවට නැඟෙන චෝදනා සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත්ය. වැරදි සහගත පුද්ගලයන් හඳුනා ගැනීමට AI තාක්ෂණය භාවිතා කළ ද, බිලියන 3.5ක් වන පරිශීලකයන් අතර සැඟවී පද්ධති මඟහැරීමට උත්සාහ කරන අපරාධකරුවන් සමඟ තමන් නිරන්තර සටනක නිරත වන බව මෙටා සමාගම පවසයි. මේ අතර, ටෙලිග්‍රෑම් සමාගම ප්‍රකාශ කර ඇත්තේ 2026 වසර තුළදී පමණක් ළමා ලිංගික අපයෝජන ද්‍රව්‍යවලට අදාළ ගෘප් සහ චැනල 274,000කට වඩා වැඩි ප්‍රමාණයක් තම පද්ධතියෙන් ඉවත් කිරීමට පියවර ගත් බවයි.
















