ශ්‍රී ලංකාවේ පේෂකර්ම ක්ෂේත්‍රයේ නවීකරණය සහ සංවර්ධනය අරමුණු කරගනිමින් ඉන්දීය රජයේ පූර්ණ සහයෝගය ලබාදීමට එකඟතාව පළ කර තිබේ. නවදිල්ලි නුවර පැවැත්වෙන ‘භාරත් ටෙක්ස්’ (Bharat Tex) ජාත්‍යන්තර ප්‍රදර්ශනයට සමගාමීව, කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ඉන්දීය රෙදිපිළි කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පබිත්‍රා මාගරිටා මහත්මිය අතර පැවති විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹිණි.
මෙම එකඟතාවය දේශීය පේෂකර්ම කර්මාන්තයේ ඵලදායීතාව ඉහළ නැංවීමට මෙන්ම, ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික හුවමාරුවක් සහ වෙළඳ අවස්ථා පුළුල් කරගැනීමට විශාල පිටුවහලක් වනු ඇත. ඉන්දියාව සතු උසස් තාක්ෂණික දැනුම සහ අත්දැකීම් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම මගින්, ගෝලීය වෙළඳපොළ තුළ තරඟකාරී ලෙස ඉදිරියට යාමට දේශීය නිෂ්පාදකයින්ට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත මෙම සහයෝගිතා වැඩසටහන් මගින් ශ්‍රී ලංකාවේ පේෂකර්ම ක්ෂේත්‍රයේ රැකියා උත්පාදනය සහ ආර්ථික වර්ධනය සඳහා නව මාවත් විවර වනු ඇත. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තහවුරු කරගත් මෙම පියවර, දෙරට අතර පවතින ආර්ථික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට මග පාදනු ඇති අතර, එය මෙරට කාර්මික අංශයේ නව පිබිදීමකට මුලපුරනු නොඅනුමානය.
















