ඉන්දීය රජයට අයත් තෙල් පිරිපහදු සමාගම් විසින් සිදුකරන මහා පරිමාණ ඩොලර් මිලදී ගැනීම් හේතුවෙන් රුපියල මත ඇති වන පීඩනය අවම කිරීමට ඉන්දීය මහ බැංකුව (RBI) ගත් පියවරත් සමඟ ඉන්දීය රුපියලේ අගය අද (සිකුරාදා) ඉහළ ගොස් තිබේ. රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි ඉන්දීය මහ බැංකුව විසින් රජයේ තෙල් සමාගම් වෙත දැනුම් දී ඇත්තේ විවෘත වෙළෙඳපොළෙන් ඩොලර් මිලදී ගැනීම සීමා කර ඔවුන්ගේ විදේශ විනිමය අවශ්‍යතා සඳහා විශේෂ ණය පහසුකමක් (credit line) භාවිතා කරන ලෙසයි. මෙම පියවරත් සමඟ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියලේ අගය 92.94 – 92.98 දක්වා ශක්තිමත් වනු ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පුරෝකථනය කරති.
පසුගිය බ්‍රහස්පතින්දා දිනය නිමාවන විට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියලේ අගය 93.19ක් ලෙස සටහන් වූ අතර මහ බැංකුවේ මෙම නව මැදිහත්වීම වෙළෙඳපොළ ස්ථාවරත්වයට බෙහෙවින් ඉවහල් වී තිබේ. ඉන්දියාව සිය ඉන්ධන අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් ආනයනය කරන බැවින් තෙල් සමාගම්වලින් එල්ල වන ඩොලර් ඉල්ලුම රුපියලේ අගය තීරණය කිරීමේදී ප්‍රධාන සාධකයක් වේ. මහ බැංකුවේ මෙම උපායමාර්ගික පියවර මගින් දේශීය මුදල් ඒකකයේ අගය තවදුරටත් පහත වැටීම වැළැක්වීමට අපේක්ෂිතය.














