ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළඳ කටයුතුවලදී ඇමෙරිකානු ඩොලර් මත යැපීම අවම කරමින්, දෙරටේ දේශීය මුදල් ඒකක (රුපියල්) භාවිතයෙන් සෘජුවම ගනුදෙනු පියවීම කෙරෙහි අවධානය යොමුව තිබේ. “රුපියලෙන් රුපියලට ඉන්දු ශ්‍රී ලංකා වාණිජ්‍ය කොරඩෝව ශක්තිමත් කිරීම” යන තේමාවෙන් කොළඹදී පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් විය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා මෙන්ම බැංකු ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සහ ප්‍රමුඛ පෙළේ ආනයන අපනයනකරුවන් පිරිසක් සහභාගී වූහ.
මෙහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේ 2025 වසර වන විට දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඇමෙරිකානු ඩොලර් බිලියන 5.5 ඉක්මවා ගොස් ඇති බවයි. ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා වුවද, තවමත් මෙම වෙළඳාමෙන් වැඩි ප්‍රතිශතයක් තෙවන පාර්ශවීය මුදල් ඒකකයක් වන ඇමෙරිකානු ඩොලර් හරහා සිදුවන බවත්, එමඟින් දෙපාර්ශවයටම අනවශ්‍ය විදේශ විනිමය අවදානමක් සහ අමතර පරිවර්තන පිරිවැයක් දැරීමට සිදුවන බවත් ඒ මහතා අවධාරණය කළේය.
ලෝක වෙළඳපොළේ පවතින අස්ථාවරත්වය හමුවේ එකම මුදල් ඒකකයක් මත යැපීම අවදානම් සහගත බවත්, විශේෂයෙන්ම 2021 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයේදී ඩොලර් සංචිත අවසන් වීමෙන් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට එල්ල වූ බාධා ද මෙහිදී සිහිපත් කෙරිණි. ඩොලර් මැදිහත් කර නොගැනීම නිසා මුදල් පරිවර්තනයේදී වැයවන අමතර පිරිවැය ඉතිරි කර ගත හැකි අතර, ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිත මත පවතින පීඩනය අඩුවී එම ඉතිරි කර ගන්නා ඩොලර් වෙනත් අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා යොදා ගැනීමට අවස්ථාව ලැබෙන බවද පෙන්වා දෙන ලදී. දෙරට අතර පවතින භූගෝලීය සමීපතාවය සහ සංස්කෘතික සබඳතා මෙම නව වෙළඳ ක්‍රමවේදය සාර්ථක කර ගැනීමට මනා රුකුලක් වනු ඇතැයි ද මෙහිදී විශ්වාසය පළ කෙරිණි.
















