කැනඩාවේ නොවා ස්කොටියා (Nova Scotia) පළාතේ හැලිෆැක්ස් (Halifax) නගරයේ වනාන්තරයක තිබී අලුත උපන් බිළිඳෙකුගේ සිරුර හමුවීමත් සමඟ ඉන්දීය සම්භවයක් ඇති යුවළක් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 22 වැනිදා රෝහල් ගත කරන ලද කාන්තාවකගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බවත්, ඇය මීට සුළු මොහොතකට පෙර දරු ප්‍රසූතියක් කර ඇති බවත් වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් පොලිසියට දැනුම් දී ඇත. නමුත් බිළිඳා සොයා ගැනීමට නොහැකි වීම නිසා පොලිසිය සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබුණි.
පසුව ලැබුණු නව තොරතුරු මත පොලිසිය සිදුකළ සෝදිසියකදී බිළිඳාගේ සිරුර වනාන්තරයක තිබී සොයා ගෙන ඇත.අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි 23 හැවිරිදි සුක්ප්‍රීත් සිං (Sukhpreet Singh) සහ ඔහුගේ බිරිඳ වන 26 හැවිරිදි රමන්දීප් කෞර් (Ramandeep Kaur) යන දෙදෙනාට දරුවාගේ සිරුර සඟවා තැබීම, රාජකාරියට බාධා කිරීම සහ මියගිය සිරුරකට අගෞරව කිරීම යන චෝදනා යටතේ නඩු පවරා තිබේ.අදාළ කාන්තාව තවමත් රෝහලේ බරපතල තත්ත්වයෙන් පසුවන අතර, එය කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක ප්‍රතිඵලයක් නොවන බවත් හදිසි වෛද්‍ය තත්ත්වයක් බවත් පොලිසිය විශ්වාස කරයි.බිළිඳාගේ මරණයට නිශ්චිත හේතුව සොයා ගැනීම සඳහා නොවා ස්කොටියා වෛද්‍ය පරීක්ෂක සේවය විසින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.














