මෙරට මුහුදු සීමාවේ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 09 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඊයේ (12) රාත්‍රී කාලයේදී, තලෙයිමන්නාරම උරුමලෙයි තුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමේ නිරතව සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. අදාළ ධීවර යාත්‍රාව ජාත්‍යන්තර මුහුදු සීමාව පසුකර මෙරට මුහුදු සීමාවට ඇතුළු වී, මුහුදු පතුලට හානි සිදුකරන ‘Bottom Trawling’ ක්‍රමය භාවිතයෙන් මසුන් ඇල්ලීමේ නිරතව සිට ඇති බව නාවික හමුදාව පවසයි.
අත්අඩංගුවට ගත් ධීවරයින් නවදෙනා සහ ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂකවරයා වෙත භාරදීමට නියමිතය. මන්නාරම් දූපත සහ ආදම්ගේ පාලම අවට පිහිටි මන්නාරම් බොක්කේ පරිසර පද්ධතිය ජාත්‍යන්තර හා දේශීය වශයෙන් ඉහළ වැදගත්කමක් සහිත මුහුදු ජෛව විවිධත්ව හා සංරක්ෂණ කලාපයක් ලෙස සැලකෙන බැවින්, මෙම ප්‍රදේශය විශේෂ ධීවර කළමනාකරණ හා පාරිසරික ආරක්ෂණ රෙගුලාසි යටතේ සංරක්ෂණය කෙරේ.














