ශ්‍රී ලංකා මුහුදු තීරයේ ඩෙල්ෆ්ට් දූපත අසලදී අනතුරට පත් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 11 දෙනාම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව බේරාගෙන තිබේ.
ඊයේ (05) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරට පත් ධීවරයින් බේරාගැනීම සඳහා නාවික හමුදාව වහාම ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළේය. දීර්ඝ මෙහෙයුමකින් අනතුරුව අද (06) දින එම ධීවරයින් 11 දෙනාම ආරක්ෂිතව බේරාගෙන ඩෙල්ෆ්ට් දූපත වෙත රැගෙනවිත් ඇති අතර, ඔවුන් සියලු දෙනා ගොඩබිමට රැගෙනවිත් අවශ්‍ය ඉදිරි කටයුතු සිදුකරමින් පවතින බව නාවික හමුදාව සඳහන් කරයි.
මේ අතර, මුහුදේ රළ පහර හේතුවෙන් වෙරළට ගසාගෙන ආ අදාළ ඉන්දීය ධීවර යාත්‍රාව මයිලිඩ්ඩි ධීවර වරාය වෙත රැගෙන යාමට ද නාවික හමුදාව කටයුතු කරමින් සිටින අතර, බේරාගත් ධීවරයින් සම්බන්ධ වැඩිදුර කටයුතු නාවික හමුදාව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව සිදුකරමින් පවතියි.














