කොල්ලුපිටිය වාලුකාරාම මහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය හෙට (අගෝස්තු 07) පස්වරු 6.30ට අභිමානවත් අයුරින් වීදි සංචාරය කිරීමට නියමිත බව කොල්ලුපිටිය වාලුකාරාමය ඇතුළු පංච මහා විහාරාධිපති, කොළඹ දිසාව සහිත ඌව පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහරගම නන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළහ. උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.
පාර්ලිමේන්තු පනතක් මඟින් රාජ්‍ය අනුග්‍රහය හිමි මෙම පෙරහැර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මඟපෙන්වීම යටතේ අදාළ රාජ්‍ය ආයතනවල පූර්ණ සහයෝගයෙන් සංවිධානය කර ඇත.
පෙරහැරේ විශේෂාංග ලෙස, 1963 වසරේ ආරම්භ වූ මෙම පෙරහැර කොළඹ නගරයේ පැවැත්වෙන පැරණිතම පෙරහැරක් වන අතර, වසර 63ක් අඛණ්ඩව මෙය පවත්වාගෙන එනු ලබයි. මීට අමතරව, උඩරට, සබරගමු, පහතරට, ජන සහ ද්‍රවිඩ නර්තන අංග ඇතුළුව විවිධ නර්තන අංග 28ක් සහ අලි ඇතුන් 15කට ආසන්න සංඛ්‍යාවක් මෙවර පෙරහැරට එක්වේ. විවිධ ජාතීන් හා ආගම් නියෝජනය කරමින් පිරිස් එක්වන මෙම පෙරහැරට, බම්බලපිටිය කදිරේෂන් කෝවිල (වජිර කෝවිල) සමඟ සම්බන්ධීකරණයෙන් ඝණ දෙවි දේව ප්‍රතිමාව සහ වේල් කරත්තයද එක් කර ඇත.
මෙම පෙරහැර කිලෝමීටර් 3ක පමණ දුරකින් යුතු වන අතර, වාලුකාරාම විහාරස්ථානයෙන් ආරම්භ වී ගාලු පාර ඔස්සේ කොල්ලුපිටිය මංසන්ධියට පැමිණ, ලිබර්ටි වටරවුම හරහා ආර්.ඒ. ද මෙල් මාවත ඔස්සේ ගමන් කර යළි විහාරස්ථානය වෙත ළඟා වීමට නියමිතය. ජනතාවට නැරඹීම සඳහා ගාලු පාර ආශ්‍රිතව විශේෂ නැරඹුම් වේදිකා සකස් කර ඇති අතර, වාහන නැවැත්වීම සඳහා කොළඹ මහානාම විද්‍යාලයේ රථගාල සහ ආර්.ඒ. ද මෙල් මාවතේ බම්බලපිටිය ප්‍රදේශයෙන් එක් මංතීරුවක් වෙන් කර ඇත.
පෙරහැර නැරඹීම සඳහා ප්‍රදේශවාසීන්ට මෙන්ම සැදැහැවත් සියලුම ජනතාවට එක්වන ලෙස විහාරස්ථ පාර්ශ්වය විසින් ආරාධනා කර සිටියි.














