ඉන්දීය රජයේ ස්වයං-මූල්‍ය යෝජනා ක්‍රමය යටතේ 2026-2027 අධ්‍යයන වර්ෂය සඳහා ඉන්දියාවේ විශ්වවිද්‍යාලවල උපාධි සහ ඩිප්ලෝමා පාඨමාලා හැදෑරීමට සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික සිසුන්ගෙන් අයදුම්පත් කැඳවා තිබේ.
මෙම අවස්ථාව සඳහා අයදුම් කළ හැකි පාඨමාලා අතර වෛද්‍ය, දන්ත වෛද්‍ය, ඉංජිනේරු, ඖෂධවේද, ගෘහ නිර්මාණ ශිල්පය සහ ඩිප්ලෝමා මට්ටමේ කාර්මික හා ඖෂධවේද පාඨමාලා ඇතුළත් වේ.
අයදුම් කිරීම සඳහා වූ සුදුසුකම් පහත පරිදි වේ:
වෛද්‍ය සහ දන්ත වෛද්‍ය පාඨමාලා සඳහා අයදුම්කරුවන් NEET විභාගයෙන් අවම වශයෙන් 50 වැනි පර්සන්ටයිල් අගයක් ලබා තිබිය යුතු අතර උසස් පෙළ විභාගයේදී භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයන් සඳහා අවම වශයෙන් 50%ක සාමාර්ථයක් ලබා තිබිය යුතුය.
ඉංජිනේරු උපාධි සහ ඩිප්ලෝමා පාඨමාලා සඳහා උසස් පෙළ විභාගයේදී භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ ගණිතය යන විෂයන් සඳහා අවම වශයෙන් 60%ක සාමාර්ථයක් සහ ඉංග්‍රීසි සඳහා 50%ක සාමාර්ථයක් අවශ්‍ය වේ.
ඖෂධවේද උපාධි සහ ඩිප්ලෝමා පාඨමාලා සඳහා උසස් පෙළ විභාගයේදී භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ ජීව විද්‍යාව සඳහා අවම වශයෙන් 60%ක සාමාර්ථයක් සහ ඉංග්‍රීසි සඳහා 50%ක සාමාර්ථයක් ලබා තිබීම අනිවාර්ය වේ. ගෘහ නිර්මාණ ශිල්පය හැදෑරීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් නවදිල්ලියේ ගෘහ නිර්මාණ ශිල්පී කවුන්සිලය විසින් නියම කර ඇති යෝග්‍යතා පරීක්ෂණය සමත් විය යුතුය.
අයදුම්පත් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ අධ්‍යාපන අංශයෙන් ඕනෑම සේවා දිනක දහවල් 2.00 සිට සවස 4.00 දක්වා කාලය තුළ ලබාගත හැක. එහිදී සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සහතිකපත් සහ උප්පැන්න සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
සම්පූර්ණ කරන ලද අයදුම්පත් සියලුම සහායක ලේඛන සමඟ ජූලි 24 වැනි දිනට පෙර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත භාර දිය යුතුය. මෙම අවස්ථාව ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයින් සහ විදේශගත ඉන්දියානුවන් සඳහා වලංගු නොවේ.
















