යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් සඳහා වන ශිෂ්‍යත්ව සහාය වැඩසටහන ශක්තිමත් කරමින්, තෝරාගත් උපාධි අපේක්ෂකයින් පිරිසකට වැඩිදියුණු කළ මූල්‍ය ප්‍රදානයන් පිරිනැමීම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ඊයේ (02) සිදුකළේය. මෙම වැඩසටහනෙහි මූලික අරමුණ වන්නේ අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනික දක්ෂතා ඇති සිසුන්ට මූල්‍ය දුෂ්කරතාවලින් තොරව උසස් අධ්‍යාපනය හැදෑරීමට සහ ඔවුන්ගේ අනාගතය සාර්ථක කර ගැනීමට සහය වීම බව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසයි.
2025–2026 අධ්‍යයන වර්ෂයේ සිට ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, 2023–2024 වසරේ ආරම්භ කළ ශිෂ්‍යත්ව ක්‍රමයේ දිගුවකි. මීට පෙර පැවැති වැඩසටහන යටතේ සිසුන් 100 දෙනෙකුට මාසික දීමනාවක් ලෙස රුපියල් 5,000ක් ලබා දුන් අතර, ලැබුණු සාර්ථක ප්‍රතිචාර මත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය රාජ්‍ය සංචාරයේදී අග්‍රාමාධීපති නරේන්ද්‍ර මෝදි මහතා විසින් මෙම ආධාර වැඩි කිරීමට පොරොන්දු විය.
නව වැඩසටහන යටතේ, පළමු වසරේ උපාධි අපේක්ෂකයින් 100 දෙනෙකුට මසකට රුපියල් 7,500ක දීමනාවක් හිමිවන අතර, ඔවුන්ගේ උපාධි කාලසීමාව පුරාම මෙම ආධාරය ලබා දෙනු ඇත. ක්‍රියාත්මක කිරීමේ සිව්වන වසර වන විට ප්‍රතිලාභීන් සංඛ්‍යාව 400 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ලබාදෙන පුළුල් ආධාර වැඩසටහනක කොටසක් වන අතර, පාසල් යටිතල පහසුකම් සංවර්ධනය, ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය සහ ඩිජිටල් ඉගෙනුම් මුලපිරීම් ද ඊට ඇතුළත් වේ.
















