ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS NIREEKSHAK’ යුද නෞකාව විශේෂ කිමිදුම් පුහුණු වැඩසටහනක් සඳහා අද (21) උදෑසන කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගනු ලැබීය.
කොමාණ්ඩර් සයිලේෂ් කුමාර් ත්‍යාගි (Sailesh Kumar Tyagi) මහතාගේ අණදෙන නිලධාරීත්වයෙන් පැමිණි මෙම නෞකාව ‘Diving Support Vessel’ වර්ගයට අයත් වේ. දිවයිනේ රැඳී සිටින කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව ‘මිශ්‍ර වායු කිමිදුම් පුහුණු’ (Mixed Gas Diving Training) වැඩසටහනක් පවත්වනු ලබයි. මෙහි මූලික අරමුණ වන්නේ දෙරටේ නාවික හමුදා කිමිදුම් අංශ අතර අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ වෘත්තීය ශක්‍යතා වර්ධනය කිරීමයි.
මීට අමතරව, නෞකාවේ නැව් මුළුව දෙරට අතර සුහදත්වය වර්ධනය කෙරෙන විවිධ වැඩසටහන්වලට සහභාගී වීමටත්, දිවයිනේ වැදගත් සංස්කෘතික ස්ථාන නැරඹීමටත් නියමිතව ඇත.















