ජාත්‍යන්තර මුහුදු සීමාව ඉක්මවා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස තමිල්නාඩු ධීවරයන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර තිබේ.
කච්චතිව් දූපත ශ්‍රී ලංකාවෙන් යළි ලබාගත යුතු බවට ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාගයේදී මෙම කරුණ අවධාරණය කර ඇති බව ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සඳහන් කරයි.
කච්චතිව් දූපත ආශ්රිත මුහුදේ ධීවර කටයුතුවල නිරත වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු නොවන ලෙස තමිල්නාඩු ධීවරයන්ට පැහැදිලි උපදෙස් සහ දැනුවත් කිරීම් ලබාදිය යුතු බව අධිකරණය පෙන්වා දී ඇත.
එම නඩු විභාගයේදී විනිසුරු සංජය කුමාර් මහතා ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන් සහ පොදු ස්ථානවල පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් තමන් නිරීක්ෂණය කළ කරුණු පිළිබඳවද සඳහන් කර තිබේ. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නිරීක්ෂණ තමන් සාදරයෙන් පිළිගන්නා බව අමාත්‍යවරයා පවසා ඇත.
කෙසේ වෙතත්, කච්චතිව් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පෙත්සම විභාගයේදී 1974 සහ 1976 වසරවල ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇතිකරගත් ගිවිසුම්වල නීතිමය වලංගුභාවය පිළිබඳ අවසන් තීන්දුවක් ලබාදී නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කරයි. නඩුවේ වැඩිදුර විභාගය ලබන පෙබරවාරි මාසය දක්වා කල්දමා තිබේ.












