ඛනිජ සම්පත් ගවේෂණය සඳහා මෙතෙක් ලබා දී ඇති සමස්ත බලපත්‍ර 471න් කැණීම් කටයුතු සිදුකර ඇත්තේ බලපත්‍ර හිමියන් අට දෙනෙකු පමණක් බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. දැනට වලංගු බලපත්‍ර පවතින්නේ 12ක් පමණක් බවත්, ඉන් 6ක් රජයේ ආයතනවලට අයත් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
පාර්ලිමේන්තුවේදී ඛනිජ සම්පත් ගවේෂණ ප්‍රතිපත්තිය ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා පැවසුවේ, 1999 වසරේ සිට පැවති පැරණි ප්‍රතිපත්තිය සංශෝධනය කරමින් නව ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බවයි. මීට පෙර බලපත්‍ර ලබා ගත් බොහෝ පාර්ශව ඛනිජ සම්පත් කැණීම හෝ අගය එකතු කිරීමේ කටයුතු සිදුකර නොමැති අතර, මේ දක්වා සිදුව ඇත්තේ ඛනිජ සම්පත් අමුද්‍රව්‍ය ලෙස විදේශයන්ට අපනයනය කිරීම පමණි.
අනාගතයේදී කිසිදු ඛනිජ සම්පතක් අමුද්‍රව්‍ය ලෙස අපනයනය කිරීමට ඉඩ නොදෙන බවත්, සියලුම ඛනිජ සම්පත් රටින් පිටතට යවනු ලබන්නේ නිසි අගය එකතු කිරීමකින් අනතුරුව පමණක් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. ලංකා මිනරල්, කහටගහපතල සහ බෝගල පතල වැනි රාජ්‍ය ආයතන ද මෙම ප්‍රතිපත්තියට අනුකූලව තම කටයුතු සිදුකරනු ඇත.














