ඉංගිරිය නගරයේ ඉරිදා දිනවල සිදුකරනු ලබන සියලුම එළවළු වෙළඳාම් කටයුතු සතිපොළ පරිශ්‍රයට පමණක් සීමා කිරීමට හොරණ ප්‍රාදේශීය සභාව තීරණය කර තිබේ. හොරණ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද නිල නිවේදනයකට අනුව, මෙම නව තීරණය අගෝස්තු මස 23 වැනිදා (අද) සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
ඉංගිරිය සතිපොළ සංවර්ධන කටයුතුවල පළමු අදියර මේ වන විට අවසන් කර ඇති බැවින්, නගරයේ විසිරී පවතින එළවළු වෙළඳාම විධිමත් කිරීම මෙහි අරමුණ වී ඇත. ඒ අනුව, සෑම ඉරිදා දිනකම ඉංගිරිය නගරයේ පිහිටි එළවළු වෙළඳසැල් වසා තැබිය යුතු අතර, එම වෙළඳුන් සහ පදික වේදිකාවේ එළවළු අලෙවි කරන පිරිස් සිය වෙළඳාම් කටයුතු සඳහා සතිපොළ පරිශ්‍රය භාවිතා කළ යුතු බව ප්‍රාදේශීය සභාව දන්වා සිටියයි.
වෙළඳ සංගම් නියෝජිතයන් සහ ප්‍රාදේශීය සභා නිලධාරීන් අතර මීට පෙර පවත්වන ලද සාකච්ඡාවලදී එළඹි තීරණවලට අනුව මෙම පියවර ගෙන ඇති අතර, මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා නගරයේ සියලුම එළවළු වෙළඳුන්ගේ සහයෝගය අපේක්ෂා කරන බව ද ප්‍රාදේශීය සභාව වැඩිදුරටත් සඳහන් කරයි.
















