27 April 2024
#ක්‍රීඩා

අන්තර් පාසැල් හොකී තරගාවලිය – 2023 පොලොන්නරුවේදි පැවැත්විණි

“වයස අවුරුදු 16න් පහළ අන්තර් පාසැල් හොකී තරගාවලිය -2023” පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ දී තෙදිනක් පුරා ඉතා සාර්ථකව පැවැත් වු බව ක්‍රිඩා අමාත්‍යංශය පවසයි.

එහි ජයග්‍රාහී කණ්ඩායම් සඳහා තිළිණ හා සහතික පත්‍ර ප්‍රදානය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පැවැත්විණ.

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ සංවිධාන ශක්තියෙන් ද, ශ්‍රී ලංකා පාසැල් හොකී සංගමයේ මෙහෙයවීමෙන් ද, ක්‍රීඩා සංවර්ධන අරමුදලේ අනුග්‍රාහකත්වය යටතේ ද ප්‍රථම වථාවට පවත්වන ලද මෙම තරගාවලිය හරහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසැල් දුවා දරුවන්ට මෙන්ම ප්‍රදේශවාසී ජනතාවට ද නවමු සජීවී අත්දැකීමක් ලබාගැනීම සඳහා මහඟු අවස්ථාවක් උදා විය.

තරගාවලිය සඳහා බාලක බාලිකා කණ්ඩායම් 87ක් සහභාගී වූ අතර, මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීම වෙනුවෙන් පොළොන්නරුව රාජකාරී විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට, සහයෝගය ලබාදුන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) ඇතුළු කාර්ය මණ්ඩලයට, සමස්ථ ලංකා පාසැල් හොකී සංගමයට, අනුග්‍රහකත්ව සහයෝගය ලබාදුන් කලාවැව කාබනික පොහොර සමාගමට සහ නන් අයුරින් සහය වූ සැමට අමාත්‍යවරයා සිය ස්තූතිය පුද කරමින් ජයග්‍රහණ හිමිකර ගත් සහ තරගය සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකා දුවා දරුවන් සැමට සුබ පැතුම් එක් කළේය.

හොකී ක්‍රීඩාවෙන් ලෝකයේ 37වන ස්ථානයෙහි පසුවන අප මාතෘ භූමියට, ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් සමගින් එළඹෙන ඔලිම්පික් තරගාවලියේ දී රටට කීර්තියක් හා ගෞරවයක් ලබාදෙමින් පදක්කමක් හිමිකර ගැනීමට මෙවැනි තරගාවලි ඉවහල් වනු ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

මේ අවස්ථාව සඳහා සමස්ථ ලංකා පාසැල් හොකී සංගමයේ සභාපති , මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පති ශශිකලා සේනාධීර, සමස්ථ ලංකා පාසැල් හොකී සංගමයේ ලේකම්, මාතලේ විජය විද්‍යාලයේ විදුහල්පති අනුරුද්ධ හේරත්, පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ අතුල ජයවර්ධන, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) කේ.ඩී.සී.කේ.පොරෝගම, තේරීම් කමිටු සභාපති සුමිත් දිසානායක, පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ විදුහල්පති අයි.කේ.කේ.රවීලාල්, නියෝජ්‍ය විදුහල්පති ( විෂය සමගාමී) එම්.එන්.උඳුගොඩ, කලාවැව කාබනික පොහොර ආයතනයේ අධ්‍යක්ෂ සී.එන්.කේ. ජයවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු විද්‍යාලයන්හි ආචාර්ය මණ්ඩලය හා ක්‍රීඩක ක්‍රීඩිකා දුවා දරුවන් විශාල ප්‍රමාණයක් සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *