අප්‍රේල් පළමු වැනිදා “මෝඩයාගේ දිනය” ලෙස ප්‍රකට වුවද, ජූලි පළමු වැනිදා (ජූලි 01) “ජාත්‍යන්තර විහිළු දිනය” (International Joke Day) යෙදී ඇති බව බොහෝ දෙනා නොදනිති. 1994 වසරේදී වේන් රෙයිනගල් නම් ඇමෙරිකානු ලේඛකයා විසින් මෙම දිනය ප්‍රකාශයට පත් කළේ වසරෙන් අඩක් ගෙවී යන මොහොතේ වසරේ ඉතිරි අර්ධය සිනහවෙන් හා ධනාත්මකව ආරම්භ කිරීමට මිනිසුන් දිරිමත් කිරීම වෙනුවෙනි. මානව විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් බලන කල, විහිළුව යනු හුදු විනෝදාස්වාදය ඉක්මවා ගිය, මිනිස් පරිණාමය සහ සමාජ බල ව්‍යුහය මැනිය හැකි ඉතා සංකීර්ණ මෙවලමකි.
ලොව පැරණිතම ලිඛිත විහිළුව ක්‍රි.පූ. 1900 දී පමණ විසූ සුමේරියානු ශිෂ්ටාචාරයට අයත් වන අතර, එය ශරීරයෙන් වාතය පිටවීම (Fart) සහ විවාහක ජීවිතය පිළිබඳව ලියැවුණු පහත් පෙළේ හාස්‍යයකි. ක්‍රි.ව. 4 වන සියවසේදී ලියැවුණු Philogelos (සිනහ ලෝලියා) ලොව ප්‍රථම විහිළු පොත ලෙස සැලකෙන අතර, එහි විහිළු 265ක් අඩංගු විය. මධ්‍යතන යුගයට පැමිණි විට, රජුගේ ඒකාධිපති බලය හමුවේ කිසිවකුට කිව නොහැකි “සැබෑව”, රජුට කෝපයක් නූපදින සේ විහිළුවෙන් පෙන්වා දීමේ අයිතිය “රාජ සභා විකටයාට” තිබූ අතර, අපේ ඉතිහාසයේ අන්දරේ සහ ඉස්ලාමීය ඉතිහාසයේ මුල්ලා නස්රුදීන් ඊට හොඳම උදාහරණ වේ.
විහිළුව සහ මිනිසාගේ හැසිරීම් රටාව තේරුම් ගැනීම සඳහා ප්‍රධාන න්‍යායන් 3ක් බහුලව භාවිත වේ. ප්ලේටෝ සහ හොබ්ස් පෙන්වා දෙන සුපිරි බව පිළිබඳ න්‍යායට (Superiority Theory) අනුව, අප අනෙකෙකුගේ අවාසනාව හෝ මෝඩකම දැක සිනාසෙන්නේ, අප ඔවුන්ට වඩා “සුපිරි” යැයි සිතෙන මනෝභාවය නිසාය. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ සහන න්‍යායට (Relief Theory) අනුව, විහිළුව යනු මිනිස් මනසේ සිරවී ඇති, සමාජය විසින් තහනම් කර ඇති ආශාවන් (ලිංගිකත්වය, ප්‍රචණ්ඩත්වය) ආරක්ෂිතව පිටතට මුදාහරින මාර්ගයකි. එසේම, මිනිස් මොළය හුරු වූ රටාව බිඳ දමමින්, කිසිසේත් නොගැළපෙන අවසානයක් ක්ෂණිකව ඉදිරිපත් කිරීමේදී මොළයට දැනෙන මවිතය සිනහවක් බවට පත්වන බව නොගැලපීම් න්‍යායෙන් (Incongruity Theory) පැහැදිලි කෙරේ.
මානව විද්‍යාඥයින් අවධාරණය කරන්නේ විහිළුව යනු හුදු සුළු දෙයක් නොව, මිනිසා තම පැවැත්ම උදෙසා නිපදවා ගත්, සමාජ ආතතීන් සමනය කරන සහ බලවතුන්ට අභියෝග කරන ප්‍රබල දේශපාලනික හා මනෝ-සමාජයීය ආයුධයක් බවයි.
















