අහිංසාවාදය සහ සාමය ලොවට රැගෙන යන ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අවසන් කරමින් වියට්නාමයේ පඤ්ඤාකර හිමියන් ඇතුළු මහා සංඝරත්නය අද (26) සවස යක්කල නගරයට වැඩම කළහ. තෝලංගමුව ජාතික පාසල් පරිශ්‍රයේ සිට ආරම්භ වූ මෙම පා ගමන යක්කල නගර මධ්‍යයට පැමිණි අවස්ථාවේදී අබේසේකරාරාමාධිපති මීගොල්ලේ ධම්මජෝති නාහිමියන් ඇතුළු පිරිස විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
යක්කල අබේසේකරාරාම විහාරස්ථානයේදී පඤ්ඤාකර හිමියන් විසින් ඉංග්‍රීසි බසින් විශේෂ ධර්ම දේශනයක් පවත්වන ලද අතර, එහි සිංහල අර්ථකථනය පාද යාත්‍රාවේ සම්බන්ධීකාරක, ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇලන් ගෝතම බෞද්ධ විහාරාධිපති මේල්පිටියේ විමලකිත්ති නාහිමියන් විසින් සිදු කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රදේශවාසී බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර, සාමයේ පණිවිඩය ලොවට බෙදා හැරීම මෙහි ප්‍රධාන අරමුණ විය.
ජාත්‍යන්තර සාම පාද යාත්‍රාව හෙට (27) උදෑසන 6.00 ට යක්කල අබේසේකරාරාම විහාරස්ථානයෙන් පිටත්ව ඓතිහාසික කැලණිය රජමහා විහාරය දක්වා ගමන් කිරීමට නියමිතය. ලෝකයේ පවතින අර්බුදකාරී වාතාවරණයන් හමුවේ ආධ්‍යාත්මික සුවය සහ සහජීවනය උදෙසා මෙවැනි වැඩසටහන් මහත් පිටුවහලක් වන බව සංවිධායක මණ්ඩලය පවසයි.














