අහිංසාවාදී පණිවිඩය ලොවට ගෙන යන ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවට සමගාමීව පවත්වනු ලබන “අසදිස පූජාව” හෙට (අප්‍රේල් 21) පස්වරු 3ට අනුරාධපුර රුවන්වැලි මහා සෑ පුදබිමේදී ආරම්භ වීමට නියමිතය. වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ වැඩමවීමෙන් පැවැත්වෙන මෙම පුණ්‍ය කර්මය සඳහා බැතිමතුන්ට ද සහභාගී විය හැකි අතර, ඒ වෙනුවෙන් පොලිස් නිලධාරීන් 200කට අධික පිරිසක් යොදවා විශේෂ ආරක්ෂක සහ රථවාහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.
සාම පාද යාත්‍රාවේ නායකත්වය දරන පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිස හෙට අලුයම දිවයිනට පැමිණීමට නියමිත අතර, මෙම ගමනට එක්වන ප්‍රසිද්ධ “ආලෝකා” සුනඛයා ද ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණෙයි. සිරස මාධ්‍ය ජාලයේ පූර්ණ සම්බන්ධීකරණයෙන් යුතුව අප්‍රේල් 22 වනදා සිට 28 වනදා දක්වා මෙම පාද යාත්‍රාව පැවැත්වෙන අතර එහි ගමන් මග අප්‍රේල් 22 දඹුල්ලෙන් ආරම්භ වී මාතලේ අළුවිහාරය දක්වාත්, 23 වැනිදා මහනුවර ශ්‍රී දළදා මාලිගාව දක්වාත්, 24 වැනිදා කෑගල්ල බෙලිගම්මන රජමහා විහාරය දක්වාත් ගමන් කිරීමට නියමිතය.
අනතුරුව අප්‍රේල් 25 වැනිදා තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලය දක්වා ද, 26 වැනිදා යක්කල චන්ද්‍රජෝතී විහාරය දක්වා ද, 27 වැනිදා කැළණිය රජමහා විහාරය දක්වා ද ගමන් කරන මෙම පාද යාත්‍රාව අප්‍රේල් 28 වැනිදා කොළඹ නිදහස් චතුරස්‍රය වෙත ළඟා වනු ඇත. එදින සවස නිදහස් චතුරස්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මහා සංඝරත්නය වෙත භාර දීමට නියමිත අතර පාද යාත්‍රාව ගංගාරාම විහාරස්ථානයට පැමිණීමෙන් පසු නිමාවට පත් වේ.












