ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් ඉරානය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. එම ප්‍රකාශයෙන් කියැවුණේ, යුද්ධය අවසන් කිරීම සඳහා දෙරට අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව, ජාත්‍යන්තර න්‍යෂ්ටික බලශක්ති නියෝජිතායතනයේ (IAEA) පරීක්ෂකවරුන්ට නැවත රට තුළට පැමිණීමට ඉරානය අවසර දෙනු ඇති බවයි.
ස්විට්සර්ලන්තයේ පැවති සාකච්ඡා පිළිබඳව අදහස් දක්වමින් උප ජනාධිපතිවරයා පවසා තිබුණේ පරීක්ෂකවරුන්ගේ පැමිණීම බොහෝ විට අද දිනයේ හෝ මෙම සතිය තුළ සිදු විය හැකි බවයි. කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍යාංශය පවසන්නේ න්‍යෂ්ටික පරීක්ෂාවන් සම්බන්ධයෙන් තමන් කිසිදු “නව එකඟතාවකට” පැමිණ නොමැති බවයි. එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයන් සමඟ සිදුවන ඕනෑම සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නේ ඉරාන පාර්ලිමේන්තුව සහ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය මගින් ස්ථාපිත කර ඇති පවතින ක්‍රියාපටිපාටිවලට යටත්ව බව ඔවුන් අවධාරණය කරයි.
මේ අතර, ඇමරිකාව විසින් දශක ගණනාවකට පසු ඉරානයට සිය තෙල් එක්සත් ජනපද ඩොලර්වලින් විකිණීමට ඉඩ ලබා දෙමින් තාවකාලික සම්බාධක ලිහිල් කිරීමක් සිදු කර ඇත. කටාර් සහ පකිස්ථාන මැදිහත්කරුවන්ගේ ප්‍රකාශයකට අනුව, දින 60ක් ඇතුළත අවසන් එකඟතාවකට පැමිණීමට දෙරටම එකඟ වී තිබේ.
මෙම සම්බාධක ලිහිල් කිරීම යටතේ අගෝස්තු 21 වනදා දක්වා ඉරාන බොරතෙල් සහ පෙට්‍රෝ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනයට, අලෙවියට සහ බෙදාහැරීමට අවසර ලැබෙන අතර, බැංකු ගනුදෙනු, රක්ෂණ සහ ප්‍රවාහන පහසුකම් ද ඒ යටතේ අගුළු හැරේ. කෙසේ වෙතත්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත්තේ, ඉරානය එකඟතාවලට අනුකූලව කටයුතු නොකරන්නේ නම් දැඩි පියවර ගැනීමට පසුබට නොවන බවයි.
දෙරට අතර සාකච්ඡා අඛණ්ඩව පැවැත්වෙන අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා වාණිජ නෞකා ආරක්ෂිතව ගමන් කිරීම සහ ලෙබනනයේ මිලිටරි මෙහෙයුම් අවසන් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
















