ඊශ්‍රායලයේ ‘මොසාඩ්’ (Mossad) බුද්ධි අංශය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් ඉරානය තුළ ප්‍රහාර එල්ල කිරීමට කුමන්ත්‍රණය කළ බවට වරදකරුවන් වූ පුද්ගලයන් දෙදෙනෙකු අද (අප්‍රේල් 20) අලුයම මරා දැමූ බව ඉරාන අධිකරණ පුවත් සේවය වන ‘මිසාන්’ (Mizan) වාර්තා කළේය.
මොහොමඩ් මසූම් ෂාහි (Mohammad Masoum Shahi) සහ හමඩ් වලිඩි (Hamed Validi) ලෙස හඳුනාගත් මෙම පුද්ගලයන් දෙදෙනා මොසාඩ් සංවිධානයට සම්බන්ධ ඔත්තු ජාලයක සාමාජිකයන් බවට චෝදනා එල්ල වී තිබුණි. ඔවුන් ඉරාකයේ කුර්දිස්ථාන කලාපය ඇතුළු විදේශයන්හිදී රහසිගත සන්නිවේදනය, බෝම්බ නිෂ්පාදනය සහ ඉලක්ක හඳුනා ගැනීම පිළිබඳව පුහුණුව ලබා ඇති බව අධිකරණ වාර්තාවල සඳහන් වේ.
මොවුන් ටෙහෙරාන් අගනුවර පිහිටි පොදු සේවා මධ්‍යස්ථානයකට සහ හමුදා කඳවුරකට පුපුරණ ද්‍රව්‍ය සහිත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම්ව සිටියදී අත්අඩංගුවට ගත් බවත්, ඒ වන විටත් ඔවුන් සන්තකයේ ප්‍රහාරක උපාංග 10ක් තිබූ බවත් විමර්ශකයෝ පවසති. “දෙවියන්ට එරෙහිව යුද්ධ කිරීම” (Moharebeh) සහ සතුරු කණ්ඩායම් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම යන චෝදනා මත පනවන ලද මරණ දඬුවම ඉහළ අධිකරණය විසින් තහවුරු කිරීමෙන් පසු මෙලෙස ක්‍රියාත්මක කර ඇත.
පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට ඉරානය සහ අමෙරිකා-ඊශ්‍රායල ඒකාබද්ධ හමුදා අතර ඇති වූ දරුණු ගැටුම්කාරී තත්ත්වයෙන් පසුව, “සතුරාට සහය දීම” යන චෝදනා මත ඉරානය තුළ මරණ දඬුවම් ක්‍රියාත්මක කිරීමේ කැපී පෙනෙන වැඩිවීමක් දක්නට ලැබෙන බව ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙයි. අප්‍රේල් 8 වැනිදා සිට පාකිස්ථානයේ මැදිහත් වීමෙන් සති දෙකක තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක මෙම මරණ දඬුවම් ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.














