ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරානයේ විදුලි බල පද්ධතිය ඉලක්ක කර ප්‍රහාර එල්ල කරනු ලැබුවහොත්, රතු මුහුදේ තෙල් ප්‍රවාහන මාර්ග වසා දැමීමට සූදානම් වන ලෙස යේමනයේ හූති සටන්කාමීන්ට ඉරානය විසින් උපදෙස් දී ඇති බව වාර්තා වේ. ගෝලීය බලශක්ති සැපයුමට බරපතල තර්ජනයක් එල්ල කරමින් ඉරාන නායකත්වයේ එකඟතාවය මත මෙම පියවර ගෙන තිබේ.
හූති සටන්කාමීන් විසින් බාබ් එල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය අසල මිසයිල සහ ඩ්‍රෝන යානා යොදවමින් නාවික ප්‍රහාර සඳහා සියලු සූදානම් කිරීම් අවසන් කර ඇති බවත්, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) අධීක්ෂණය යටතේ නියෝග ලැබුණු වහාම ක්‍රියාත්මක වීමට ඔවුන් සූදානමින් සිටින බවත් ආරංචි මාර්ග තහවුරු කරයි. දැනටමත් හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති පසුබිමක, රතු මුහුදේ මෙම මාර්ගය ද අවහිර වුවහොත් මධ්‍යම පෙරදිගින් තෙල් අපනයනය කරන ප්‍රධාන මාර්ග දෙකම එකවර අඩාල වීමෙන් දැවැන්ත ගෝලීය බලශක්ති අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතී.
සෞදි අරාබිය සිය බලශක්ති අපනයනයෙන් 70%ක් රතු මුහුදේ යාන්බු වරාය හරහා සිදු කරන බැවින්, හූති ප්‍රහාරයක් සෘජුවම සෞදි අරාබියට ද බරපතල ගැටලුවක් වනු ඇත. ඉරානය සහ ඇමරිකාව අතර උත්සන්න වී ඇති ගැටුම් හමුවේ, ගෝලීය ආර්ථිකයට විශාල පීඩනයක් එල්ල කිරීම සඳහා ඉරානය මෙම උපාය මාර්ගික තර්ජනය යොදා ගන්නා බව විචාරකයින් පෙන්වා දෙති. පසුගිය දිනෙක සෞදි අරාබිය ඉලක්ක කර හූතින් මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ දෙපාර්ශවය අතර පැවති සිව් වසරක සටන් විරාමය ද බිඳ වැටී ඇති අතර කලාපීය තත්ත්වය ඉතා අස්ථාවර වී තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















