ඉරාන භූමියට එල්ල වූ ඇමෙරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් ‘Nasr-2’ මෙහෙයුම යටතේ කුවේටය, බහරේනය සහ ජෝර්දානය යන රටවල පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර දැවැන්ත ප්‍රතිප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
කුවේටයේ මිනා අබ්දුල්ලා ප්‍රදේශයේ පිහිටි ඇමෙරිකානු හමුදාවේ ‘KJL’ ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානය ඉලක්ක කර ඇති අතර, එම ස්ථානය ගිනිගෙන විනාශ වී තිබේ.බහරේනයේ ස්ථාපිත ඇමෙරිකානු පස්වන නාවික බලඇණියට අයත් පාලන මධ්‍යස්ථාන, යුද උපකරණ ගබඩා සහ ඉන්ධන පර්යන්ත ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇත. ජෝර්දානයේ අල්-අස්රාක් (al-Azraq) ගුවන් කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් ඇමෙරිකානු ප්‍රහාරක යානා රඳවා තිබූ මධ්‍යස්ථාන සහ MQ-9 ඩ්‍රෝන යානා කිහිපයක් විනාශ වී ඇති බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය තහවුරු කරයි.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් සහ ගෑස් අපනයනය කිරීමේ අයිතිය පිළිබඳ දැඩි ස්ථාවරයක සිටින ඉරානය, ඇමෙරිකාව සිය ආක්‍රමණශීලී පිළිවෙත අත්හරින තෙක් සමුද්‍ර සන්ධිය වසා තබන බව ප්‍රකාශ කරයි. පසුගිය කාලයේදී පාකිස්ථානයේ මැදිහත්වීමෙන් සාම ගිවිසුම් ඇති කර ගැනීමට උත්සාහ කළද, ඇමෙරිකාව දිගින් දිගටම ඉරාන දේශසීමා උල්ලංඝනය කරන බවට ඉරානය චෝදනා කරයි.
















