පසුගිය සති කිහිපය තුළ ඉරානයේ තෙල් අලෙවිය වාසිදායක මට්ටමක පවතින බවත්, එමඟින් ලැබෙන ආදායමෙන් කොටසක් යුදමය ප්‍රහාර හේතුවෙන් කර්මාන්තශාලාවලට සිදුවූ හානි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වෙන් කරන බවත් ඉරාන තෙල් අමාත්‍ය මොහ්සන් පක්නෙජාඩ් (Mohsen Paknejad) අද (අප්‍රේල් 14) ප්‍රකාශ කළේය. ගැටුම් පවතින සමයේ වුවද තෙල් ක්ෂේත්‍රයේ සේවකයන් සිය මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන ගිය බව ඔහු මෙහිදී අවධාරණය කළේය.
විශේෂයෙන්ම ඛාර්ග් දූපත (Kharg Island) වැනි ප්‍රධාන අපනයන මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල වුවද, ඉරානයේ තෙල් අපනයන කටයුතු එක් දිනක් හෝ නතර නොවී පවත්වාගෙන යාමට හැකි වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම ආදායම යොදා ගනිමින් යුද්ධයෙන් අඩාල වූ බලශක්ති යටිතල පහසුකම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට ඉරාන රජය බලාපොරොත්තු වේ.















