ඉරානය සහ ඕමානය විසින් පනවනු ලබන නව කොන්දේසි සහ ගමනාගමන ගාස්තු (Transit Fees) යටතේ හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) විවෘතව තැබීමට කටයුතු කරන බව මොස්කව්හි ඉරාන තානාපති කාසෙම් ජලාලි (Kazem Jalali) මහතා ප්‍රකාශ කර තිබේ. රුසියානු ‘Izvestia’ පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර ඇති අතර, හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඉරානය සහ ඕමානය විසින් සපයනු ලබන ඇතැම් සේවාවන් වෙනුවෙන් මෙම ගාස්තු අය කිරීමට නියමිත බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
ඇමෙරිකා-ඉශ්‍රායල සහ ඉරාන ගැටුම් හේතුවෙන් ලෝකයේ තෙල් ප්‍රවාහනයෙන් පහෙන් එකක් සිදුවන මෙම මුහුදු මාර්ගයේ කටයුතුවලට මේ වන විට දැඩි බාධා එල්ල වී තිබේ. ස්ථිර සාම ගිවිසුමක් යටතේ නැවෙහි වර්ගය, භාණ්ඩ සහ පවතින තත්ත්වයන් මත පදනම්ව මෙම ගාස්තු වෙනස් වන බව ඉරානය ප්‍රකාශ කළ ද, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) ඇතුළු පාලනය ඊට දැඩි විරෝධය පළ කර ඇත. මේ සම්බන්ධයෙන් ඉරානය සමඟ එක් නොවන ලෙස පසුගිය මැයි අගභාගයේදී ඇමෙරිකාව විසින් ඕමානයට අනතුරු ඇඟවීමක් ද කර තිබුණි.
















