ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් එරට පාලන තන්ත්‍රය තුළ තමන් සතු බල අධිකාරිය ගිලිහී යාම හේතුවෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අවසර ඉල්ලා ඇති බව වාර්තා වේ.
එරට උත්තරීතර නායකයාගේ කාර්යාලය වෙත ඔහු දැනුම් දී ඇත්තේ ප්‍රධාන තීරණ ගැනීමේ ක්‍රියාවලීන්ගෙන් තමන් සහ තම රජය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවයි. ඒ හේතුවෙන් තමන්ට පැවරී ඇති වගකීම් නිසි ලෙස ඉටු කිරීමට නොහැකි වී ඇති බව ඔහු පෙන්වා දී තිබේ. මෙම ඉල්ලා අස්වීමේ පුවත කරළියට පැමිණෙන්නේ ඉරාන පාලන තන්ත්‍රය තුළ පවතින අභ්‍යන්තර බල අරගල වර්ධනය වෙමින් පවතින සහ ඇමරිකා එක්සත් ජනපදය ටෙහෙරානය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින තීරණාත්මක වටපිටාවකය. ඉරාන නායකත්වයේ පවතින මෙම අභ්‍යන්තර බෙදීම් පිළිබඳව අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මීට පෙර අවධාරණය කර තිබුණේ, වත්මන් ඉරාන පාලන තන්ත්‍රය බරපතළ ලෙස බිඳවැටීමකට ලක්ව ඇති බවයි.
















