ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින සටන් විරාම ගිවිසුම දැඩි අවදානමකට ලක් කරමින් දෙරට අතර යළිත් වරක් ප්‍රහාර මාලාවක් හුවමාරු වී තිබේ.
පසුගිය සෙනසුරාදා හෝමූස් සමුද්‍ර සන්ධියේදී පැනමා ධජය සහිත තෙල් ටැංකියකට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමත් සමඟ ඇමරිකානු හමුදා විසින් ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ගබඩා මෙන්ම රේඩාර් මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කරන ලදී. එම ඇමරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය ඉරිදා අලුයම කුවේට් සහ බහරේන් රාජ්‍යවල පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් දියත් කළේය.
සටන් විරාම ගිවිසුම නැවත නැවතත් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය හරහා කියා සිටියේ අමෙරිකාව තවදුරටත් ඉවසා සිටීමට නොහැකි මට්ටමකට පැමිණ ඇති බවයි. අමෙරිකාව ආරම්භ කළ මෙහෙයුම මිලිටරිමය වශයෙන් අවසන් කිරීමට තමන්ට සිදුවුවහොත්, ඉරාන ඉස්ලාමීය ජනරජය තවදුරටත් ලෝක සිතියම තුළ නොපවතිනු ඇතැයි ඔහු දැඩි අනතුරු ඇඟවීමක් සිදු කළේය.
දෙරටම එකිනෙකා ගිවිසුම උල්ලංඝනය කරන බවට චෝදනා කරගන්නා අතර, මෙම ගැටුම තවදුරටත් වර්ධනය වුවහොත් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනු ඇති බවට ඉරානය අනතුරු අඟවා තිබේ. කලාපීය ආරක්ෂාව සහ ගෝලීය බලශක්ති සැපයුමට තීරණාත්මක වන හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින මෙම උණුසුම් තත්ත්වය, මැදපෙරදිග කලාපයේ පූර්ණ යුද්ධයක් ඇතිවීමේ අවදානම තවදුරටත් ඉහළ නංවා ඇත.
















