අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ බලශක්ති ජාලයට සහ යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන පසුබිමක, ඉරානය විසින් ගල්ෆ් කලාපීය රටවලට දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ. යම් හෙයකින් අමෙරිකාව ඉරානයට නව ප්‍රහාරයක් එල්ල කළහොත්, ඊට ප්‍රතිචාර ලෙස ගල්ෆ් කලාපයේ තෙල් පිරිපහදු, විදුලිබල පද්ධති සහ ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර පුළුල් ප්‍රහාරයක් එල්ල කරන බව ඉරානය පවසා ඇත.
මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි (Abbas Araqchi) විසින් සෞදි අරාබිය, කටාර්, තුර්කිය සහ පාකිස්ථානය සමඟ පවත්වන ලද උසස් මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා අතරතුරදීය. අමෙරිකාවට බලපෑම් කර කලාපීය යුද ගැටුමක් වැළැක්වීමට මැදිහත් වන ලෙස ඉරානය මෙම රටවලින් ඉල්ලා ඇත.
කෙසේ වෙතත්, සෞදි කිරුළ හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් (MBS) ජනාධිපති ට්‍රම්ප් අමතා මිලිටරි ක්‍රියාමාර්ග ප්‍රමාද කර රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා වෙත යොමු වන ලෙස ඉල්ලා ඇති අතර, 2019 වසරේ ‘ඇරම්කෝ’ (Aramco) තෙල් පිරිපහදුවට එල්ල වූ ප්‍රහාරය සිහිපත් කරමින් තවදුරටත් කලාපයේ අස්ථාවරභාවයක් ඇති වුවහොත් ගෝලීය බලශක්ති සැපයුමට සහ කලාපීය ආර්ථිකයට දැවැන්ත විනාශයක් සිදුවනු ඇති බවට විචාරකයෝ අනතුරු අඟවති.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්













